(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණ නීති සංශෝධනය සඳහා  කරුණු සොයා බැලීමට පත් කෙරුණු  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ
සාමාජිකයන් ලෙස  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ  රාවුෆ් හකීම් යන මහත්වරුද අලුතින්  පත් කරනු ලැබ සිටිති.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම තීරණය  පාර්ලිමේන්තුවට අද (22) උදේ දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන සහ  පාර්ලිමේන්තුව විසින් 2021 සැප්තැම්බර් 21 දින සම්මත කරන ලද යෝජනාව අනුව  මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල  ප්‍රතිසංස්කරණය සඳහා මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරනු ලැබ ඇත.

මෙම කාරක සභාව  දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසකගේ   අදහස් දැනට ලබාගෙන ඇති අතර  එහි අවසන් වාර්තාව  පාර්ලිමේන්තුවට ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය.