IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෙතෙන්ට එන්න පාර කැපුවේ ජනපතිවරයායි

(අංජුල මහික වීරරත්න)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය දක්වා ගෙන ඒමට පසුබිම සකස් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම හා පූර්ණ ආශිර්වාදයෙන් බව ද්‍රවිඩ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා අද (20) පැවසීය.

සිය ධූර කාලය අවසන් වීමට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ බලවත් අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තිබූ බව සඳහන් කළ සුමන්තිරන් මහතා ඊට අදාළ ක්‍රියාදාමය ආරම්භ කෙරුණේ අද ඊයෙක නොව මේ වසරේ පෙබරවාරි මාර්තු මාසවල සිට යැයිද සඳහන් කළේය.

ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ඉහත කරුණු සදහන් කළේ ලංකාදීපයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනයට අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, ආචාර්ය සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා හා තමන්ගෙන් (එම්.ඒ සුමන්තිරන්) සමන්විත විශේෂ කමිටුව පත් කරනු ලැබූවේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළ තීරණය ගැනීමේ පූර්ණ බලතල ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ඉකුත් අගහරුවාදා තමන්ට පැවරූ බව සඳහන් කළ සුමන්තිරන් මහතා ඒ අනුව ජනාධිපතිවරයා මෙන්ම අගමැති සමඟ ද සාකච්ඡා කර යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ගෙන ඒමට පසුබිම සැකසූ බවද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

සියධූර කාලය ඉවරවීමට පෙර විධායක අහෝසි කළ යුතු බවට ජනාධිපතිවරයා තීරණයකට එළැබ සිටියා. ඊට අදාළව ක්‍රියා කිරීම සඳහා අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, ආචාර්ය සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා සහ මා ඇතුළත් කමිටුව හැදුවේ ජනාධිපති විසිනුයි.

මේ වසරේ පෙබරවාරි, මාර්තු මාසවල සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, බලය බෙදීම හා මැතිවරණ ක්‍රමය සකස් කීරීමටත් අප කමිටුව නිහඬ කාර්යභාරයක් කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන කොළඹ දී මෙන්ම යාපනයේදීත් ජනාධිපතිවරයාට මා කරුණු වාර්තා කළා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණේ ඉහත දීර්ඝ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙසයි. එය කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්න ජනාධිපතිවරයාට අවශ්‍යව තිබුණා. ඒ අනුව විශේෂ ඇමැති මණ්ඩල රැස්වීම කැදව්වේත් ජනාධිපතිවරයා විසින්මයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීමට ප්‍රථම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීම සාම්ප්‍රදායානුකූලව සිදුවන්නක් පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහාය ගන්නත් මා සාකච්ඡා කළා. ආණ්ඩු පක්ෂයේ පූර්ණ සහයෝගය මත ඊට සහාය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුණා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බහුතරය නියෝජනය කරන ආණ්ඩුවේත්, ද්‍රවිඩ ජාතික සන්ධානයේත්, ජනතා විමුක්ති පෙරමුණේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුනුත් එකඟ නම් මෙරට ජනතාව එදා සිටම ඉල්ලූ පොරොන්දුව ඉෂ්ඨ කිරීමට තවත් කාලයක් ගන්නේ කුමකටද?

මේ පාර්ලිමේන්තුවෙන්ම විධායක ජනාධිපති ක්‍රමය කඩිනමින්ම අහෝසි කරන්න හැකි නම් එය ජනතාවට වූ පොරොන්දුව ඉෂ්ඨ කිරීම නොවන්නේද?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3 බලයක් අවශ්‍යයි. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට විධායක ජනාධිපති ධූරයට පක්ෂ සහ ඊට එරෙහි කණ්ඩායම් හඳුනාගත හැකියි. එය දැන ගැනීමේ අවස්ථාව ජනතාවට දීමත් විශාල දේශපාලන ජයග්‍රහණයක් වනවා.

දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කරමින් ඇති කරගත් එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය දක්වා ගෙන ඒමේ පසුබිම සකස් කළැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ අනුමැතිය, එකඟතාවය හා ආශිර්වාදය ඇතිව යැයි ද එම්.ඒ සුමන්තිරන් මහතා වැඩිදුරටත් කීවේය.

 



අදහස් (0)

මෙතෙන්ට එන්න පාර කැපුවේ ජනපතිවරයායි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site