(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්පැන් සාදයක් අතරතුරදී පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මිටියකින් සිදුකළ පහරදීමකින් දෙදෙනෙක් මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇතැයි හොරණ පොලිසිය කියයි.

හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නේවාසිගාරයක් තුළ ඊයේ (15) රාත්‍රී පැවැති මත්පැන් සාදයකදී මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය සඳහන් කළේය.

පහරදීමට සම්බන්ධ  පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 සහ 53 සීමාවල් වල පසුවන කෑගල්ල සහ හෙට්ටිපොළ ප්‍රදේශවල පදිංචි කරුවන් දෙදෙනෙක් බව පොලිසිය කීය.

මළ සිරුරු පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තිබෙන අතර අද දින මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.