(නිමන්ති රණසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය ඉකුත් 15 වැනිදා තමන්ට බැණ, මරණීය තර්ජනය කළැයි නව මැගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය ප්‍රියංග ඉඳුනිල් පුපුලේවෙල මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව, පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් “ලංකාදීපය”ට පැවැසීය.
මෙම සිද්ධියට අදාළව වෛද්‍යවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මෙන්ම වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබූ අතර, පසුව පොලිස් බලප්‍රදේශයට අනුව බොරැල්ල පොලිසියට ද ඊයේ (21) මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක කර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.
බොරැල්ල පොලිසියේ පැමිණිල්ලට අදාළව විමර්ශන පොලිස්පතිවරයාගේ නියමයෙන් තම කොට්ඨාසයට බාරගෙන සිද්ධියට අදාළව පැමිණිලිකාර වෛද්‍යවරයාගෙන් වැඩිදුරටත් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.
“තමුසේ දන්නේ නැද්ද මම මෙතැනට ආවේ මොනවා කරල ද කියලා. ඒ වගේම තමයි මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්, පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගේ කාර් එකයි අළු වෙලා තියෙයි. ඒක හොඳට දැන ගන්නවා. එතකොට තමුසෙගෙ ගෑනිට මිනිහෙක්, ළමයින්ට තාත්තා කෙනෙක් තමයි නැති වෙන්නේ. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්” යැයි සඳහන් කරමින් සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය බැණ තර්ජනය කළ බවට වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තමන් ඉකුත් 15 වැනිදා බන්ධනාගාර ඩිස්පැන්සරියේදී රැඳවියන් සඳහා ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී යම් තැනැත්තකු අනවසරෙන්, බලහත්කාරයෙන් එම කාමරයට ඇතුළු වී ඇති බවත්, අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහු කැඳවන බැවින් වහාම පිටතට යන ලෙසට ඒ අවස්ථාවේදී තමන් එම තැනැත්තාට පැවැසූ බවත් පැමිණිලිකාර වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.
තමන් එසේ පැවැසුව ද කාමරයෙන් පිටතට නොගිය එම තැනැත්තා, “ඔයා මහා ලොකු දොස්තර කෙනෙක් ද මට මෙහෙම කතා කරන්නේ. තමුන්ට වඩා ලොකු දොස්තරලා මම මෙහේ අඳුරනවා. මාව පරීක්ෂා කරන්න එන මගේ යාළු දොස්තරලා, බන්ධනාගාර නිලධාරීනුත් ඉවත් කරලා තමයි මට කතා කරන්නේ. ඒගොල්ලෝ මගෙන් අහනවා මට මොනවා ද ඕනෑ, නීතියට පිටින් හරි ඕනෑ උදව්වක් කරන්නම් කියලා. උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාළු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්. මගේ වැඩ කරගන්න තමුසේ ඕනෑ නැහැ.” යනුවෙන් තමාට බණිමින් සිටි බව පැමිණිලිකාර වෛද්‍යවරයා සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.
“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතැනින් පලයන් ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්” යනුවෙන් ද කියමින් තමාට තර්ජනාත්මකව හා අපහාසාත්මකව බැණ වදිමින් ආවේගශීලීව හැසිරුණු මෙම තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව තමන් දැන නොසිටි බව ද වෛද්‍යවරයා විසින් කරනු ලැබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පවසයි.
බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළ රිෂාඩ් බදියුදීන් යන අය එලෙස හැසිරෙන අවස්ථාවේදී රැඳවියකු සහ බන්ධනාගාර නිලධාරියකු ද එහි සිටි බවත්, ඔහුගේ තර්ජනාත්මක බැණ වැදීම ඇසී බන්ධනාගාර නිලධාරීන් තවත් තිදෙනකු ද ඩිස්පැන්සරිය තුළට පැමිණ සැකකාර හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගිය බවත් වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ දක්වා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
සැකකාර හිටපු අමාත්‍යවරයා එම අවස්ථාවේදී තමාට තර්ජනාත්මකව බැණ වැදී මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් තමාට දැඩි ලැජ්ජාවක්, පිළිකුලක් මෙන්ම දැඩි මරණ බයක් ද ඇති වූ බවත්, මෙම සිද්ධිය ප්‍රතිකාර සඳහා පැමිණ සිටි රැඳවියන් ද බලාගෙන සිටි බවත් සඳහන් කර ඇති පැමිණිලිකාර වෛද්‍යවරයා, තමාගේ මෙන්ම තම පවුලේ අයගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පැමිණිල්ල කරන බවත් සඳහන් කර ඇති බව පොලිසිය කියයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිතුමාට ද කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර වෛද්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (22) කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගෙන ඇත.
සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අධිකරණ නියෝග ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ මැගසින් බන්ධනාගාරයට අද (22) ගොස් ඇත.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
ඔය අසනීපයට ඌරු තෙල් හිසේ ගෑවා නම් හරියනවා...
මොනවා වුණත් ඇත්තම කියලා තියෙනවා. පක්ෂ, විපක්ෂ දෙගොල්ලන්ම උදව් කරනවා කියලා. ඒක නම් හරියටම හරි...
ආණ්ඩුවත් විරුද්ධ පක්ෂයත් දෙකම බදුර්දීන් ආරක්ෂා කරනවා.
හංගලා තියෙන ආයුධ සොයන්න අරගෙන යන්නෙ නැත්තේ ඇයි ?.
අපරාධකාර ජඩයින් හුරතල් කරපු පහුගිය ආණ්ඩුවත් හුරතල් කරන වර්ථමාන ආණ්ඩුවත් මේවට වග කිව යුතුයි.
මේ කතාව ඇත්තනම් මේක සෙල්ලම් වැඩක් නෙමේ... මොහු ඉතාමත් කල්පනාකරී සහ භයානක පුද්ගලයෙක්... ඒ වගේම මොහු වටා තිබෙන ජාලය සූක්ශම අයුරින් ක්‍රියාත්මක වන බවයි දැනෙන්නෙ... පලමුව මෙහි ඇත්‍ත නැත්ත සොයාගත යුතුයි...
ඔය හම්බයාට උදේට, හවසට ඌරු මස් දෙන්න..බය වෙන්න එපා..තව වැඩිකල් නෑ එයාට.
වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව? සේවයේ නියුතු රජයේ නිලධාරියෙකුට බන්ධනාගාරය තුලදීම තර්ජනය කරනවා.. දැන් ලංකාවේ ඕන මැරයෙක්ට තමන් කැමති දෙයක් කරන්න පුළුවන් තත්වයට පත්වෙලා. බන්ධනාගාරයේ හිටියත් සැප විඳිනවා. ඇතිවෙන්නේ හරිම පිළිකුලක්. මේ රට දාලා වෙන රටකට යන්න ක්‍රමයක්වත් හොයා ගන්න ඕනේ. මේ ජරා සමාජ ක්‍රමය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට දෙවි පිහිටම තමයි.
බදියුදීන් කියයි මම දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ කියලා.
"පක්ෂ විපක්ෂ දෙකම මට හොඳට සලකනවා" කේන්ති ගිය පාරට ඇත්තත් එළියට පැනලා. මේව ඉතින් ඔක්කොම නරි නාටක. රටේ මිනිස්සුත් ඉතින් කෙළවරක් නැතුව රැවටෙනවා.
කොතන ගියත් එහි වෙනසක් නැත.
මේ හැසිරීම ඔහුගෙ නූගත්කම ප්‍රදර්ශනය කරනවා. හැබැයි ඔහුට ඉංජිනේරු උපාධියක් ඇතැයි කියා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා රැස්වීම්වලටත් ආවලු. මේ රටේ බොරු උපාධි හා ආචාර්ය උපාධි ඇති අය කවුරුන්දැයි රජය විමර්ශනයක් කල යුතුයි. අවුරුදු තිහකට හතලිහකට කලින් මෙවැනි දේ අසන්න නොලැබුනු තරම්. ඒත් දැන් බොරු අධ්‍යාපන සහතික භාවිතය ප්‍රභූ යයි ආරුඪ කරන් ඉන්න අය අතර ඉහළ බව පේනවා.
කූඩුවේ ඉන්න ඕන එකා කොහොමද නිදැල්ලේ ඇවිදින්නේ ?
තව නාටකයක්
පක්ෂ විපක්ෂ ඔක්කොම සලකනවා. මේ සිද්ධිය සතියෙන් අමතක වෙනවා. පොර ළඟදිම නිදහස්. ඕන්න සම්මානනීය නාට්‍ය...
මෙහි ඇති වැදගත්ම තොරතුර "ආණ්ඩුවත් විපක්ෂයත් උදව් කරන එක". මේක අපි දැනගෙන හිටියා. නමුත් රිෂාඩ්ගේ කටින්ම පිටවීම හොඳයි. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 2/3 ගත්තේ රිෂාඩ්ගේ පිහිටෙන්. ඉතින් නොසලකා පුළුවන්ද? හෙක්ටයාර් 2000ක් කපලා පසුගිය ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. මේ ආණ්ඩුවත් එසේමයි. අවුරුදු 15ක දැරියක් සේවයේ යෙදවීම වරදක්. එ්කටත් රිෂාඩ් අදාළ නෑ වගේ ආණ්ඩුව හැසිරෙන්නේ. රිෂාර්ඩ් හැමදාම දිනුම්... දොස්තර කෙනෙකුට මරණීය තර්ජනය කරලාත් තාම GMOA නිහඬයි. කොහොමද රිෂාඩ්ගේ බලේ..?
මූණ පුරෝලා දුන්නා නං දත් හතරක් පහක් බඩට යන්න. අම්මපා මට නම් කොහේදි හරි හම්බ වුණොත් එල්ලුම්ගස් යන්න හරි දෙනවා ගේමක්. මෙයා තමයි වැඩියෙන්ම අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට පාරෙ බැහැලා යන්ඩ බැරි කරන්නේ... පක්ෂ විපක්ෂ හැම අවස්ථාවාදියාම මෙයාගේ පාර්ලිමේන්තු ආසනේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි...
අලුත් නාටකය පටන් ගත්තා
මම හිතන්නේ නෑ මෙවැනි දැයක් සිදු උනා කියලා තවත් තිර රචනයක් මේ ආණ්ඩුවට රටේ ප්‍රශ්නය වසන් කිරීම දරන නාට්‍යයක්... හරියට සිංහල භාෂාව කතා කරන්නත් බැරි කෙනා කොහොමද මේහම බැන වදින්නේ
උගත් හා උගත් නොවන පුද්ගලයින් අතර වෙනස.
මෙතන මතුපිටින් පේන කතන්දරේ නෙවෙයි යටින් තියෙන්නේ.
රජට යන්තමින් සහයෝගය දෙන අයකුගෙ කටින් පිටවන හැම අකුරකටම, වචනයකටම, තේරුම්, උපකල්පන හදලා ව්‍යාකරන දෝශත් පෙන්නල දෙන්න තියෙන උනන්දුව විපක්ශයට මේ ප්‍රකාශයටත් භාවිතා කරයිද බලමු..., කැට තියලා කියන්නම් මේකට විපක්ෂයෙන් කියන්නෙ "මේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය විදිමත් අයුරින් පරීක්ශා කර බලා එවැන්නක් සිදුවී ඇත්නම් සුදුසු ක්‍රියාමාර්ගයක් ගතයුතුයි" කියන එක විතරයි.
කුමුදේශ් මහත්තයෝ..., නර්ස් මහත්තයෝ..., සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ කෙනෙකුට මරණ තර්ජන කරලා තියෙන්නෙ.
සංගමය කෝ?
අපෝ මුකුත් කියන්න බැහැ මොකෝ එයා සමගි ජනබලවෙගයේනේ...
මට මම ගැනම දුක හිතෙනවා. බලන්න අපේ රට වැටිලා තියෙන තැන. අවනීතිය හැමතැනම. සල්ලි බලය තියෙනවා නම් තමන් කැමති දෙයක් කරලා කැමති විදියට ඉන්න පුළුවන්... නිදහස් වෙන්නත් පුළුවන්. යන්න හිතෙන රටක්. තව ටික දවසක් යද්දී පාරේ වෙඩි තිබ්බත් සාමාන්‍ය පුරවැසියෙක්ට කරන්න දෙයක් නැති වෙයි. ඒ තරමටම හැමදේම පිරිහිලා...
ජනාධිපතිතුමාට මෙම සිද්ධිය ගැන සොයා බලන්න කොන්දක් ඇතැයි නොසිතමි.
ඕකාට ඌරු ගාතයක් කෑවනම් හරි
මොහුගේ NDT සහතිකය ඇත්ත එකක්ද සැකයි. NDT ලබා ගැනීමට උසස් පෙළ ගණිතය සමත්විය යුතුයි. NDT කියන්නෙ එතරම් ලේසියෙන් ලබාගත හැකි සහතිකයක් නොවේ. මෙයින් පේනවා මොන තරම් මේ රට දැන් දූෂිතද කියල.
ගොඩක් තියෙන්නේ ඉතා බොළඳ ප්‍රතිචාර... වැරැදි කරපු කෙනෙකුට ඌරු මස් කවලා හරියනවද? දොස්තරට තිබුණේ එවෙලේම කණපැලෙන්න එකක් දෙන්න.
කොහොම ද හදිසියට 20 සම්මත කර ගැනීමේ ප්‍රතිඵල? සතුටුයි නේද? අර මොකාද සතාගෙ කරේ රත්තරන් බැන්දා වගෙයි කියන එක ඒ අහිංසක සතාටත් කරන අපහාසයක්. අපි දන්න රිෂාඩ් නම් හොඳ සිංහල කථිකයෙක්. කෝ අපේ මේ පොඩි සුළඟක් රැවුල හරහා ගියත් වැඩ වර්ජන කරන වෙද සංගම්? සිද්ධිය දන්නෙ නැතුව වත්ද? නැතිනම් අර ආණ්ඩුව හා විපක්ෂය කියන කුලක මේලයටම බැර වෙලාවත් ද?
අනේ ඇත්තට කාටවත් මතක් වුනේ නැහැ නෙව. මේ අර ඇෆ්ගනිස්තානේ කට්ටිය ඔලුව උස්සපු හයියනේ ඔය හිතට අරන් තියෙන්නේ.
කොහොමද මේවා පසුගිය කාලේ වුණා නම්..? ඡන්දේ ගන්න ඕනෑ වුණාම සද්දෙට කෙරෙනා උද්යෝගිමත් පාඨ දැන්දැන් එළියට එන්නේ නැහැ නේද කියලා හිතෙනවා. කෝ මේ අල් සබ්රිලාගේ නීතිය ක්‍රියාත්මක කරන්නට මෙතරම් මන්දගාමී ස්වභාවයක් ගන්නේ ඇයිද?
මේවා නිකන් බොරු නාඩගම්... වහල්ලු හොරේ දාන සුරංගනා කතා.
පොඩි දේවල් වලට ලොකු ප්‍රසිද්දියක් ලබාදීම මිනිස්සුන්ගේ අවදානය වෙන අතකට හරවන්න.
බන්ධනාගාර ගතවූවන් දුරකතන ඇති සහ නැති වශයෙන් දෙවර්ගයක් වෙන්නේ කොහොමද.?
සෞභාග්‍යයෙ දැක්මෙ තවත් ජවනිකාවක්. 69 යට මාර චූන්.
කණ පැලෙන්න ගහලා කණ් වාට්ටුවට ගිහින් දාන්නයි තිබුණේ...