(සිතුම් චතුරංග)

මහවැලි එල් කලාප ලෙස නම් කරමින් බෝගස්වැව ඇතුළු ප්‍රදේශයන් හි තවදුරටත් සිංහල ජනතාව පදිංචි කිරීම  හා දැනට පදිංචිව සිටින සිංහල පවුල් නෙදුන්කේණි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය යටතට පත් නොකරන ලෙස බලකරමින්  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන්  විරෝධාතවක නිතර වූහ.

කැබිතිගොල්ලෑව, පදවිය, පලුගස්වැව, වෙහෙරතැන්න හා බෝගස්වැව ඇතුළු ප්‍රදේශ කිහිපයක ගම්මාන රැසක පවුල් 1330 ක් පමණ නෙදුන්කේණි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය යටතට පත්කිරීමට නියමිත බවත් එසේ කිරීමෙන් දෙමළ ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බවත් විරෝධතාකරුවෝ එහිදි පැවැසූහ.

මහවැලි එල් කලාප ලෙස හදුන්වමින් දෙමළ ජනතාවට අයත් ඉඩම් තුළ සිංහල ජනයා පදිංචිකරන බවත් එම හේතුවෙන් මේ වන විට දෙමළ ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම් අහිමිවී යන බවත් විරෝධතාකරුවන් සඳහන් කළේය.

සිංහල ජනතාව වැඩිවශයෙන් පදිංචිකොට උතුරේ සිංහල ඡන්ද පදනම වැඩිකරලීමට උත්සහ ගන්නා අතර එම හේතුවෙන් දෙමළ ජනතාවගේ නියෝජනයන් අහිමිවන බවත් කීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් දිගින් දිගට සාකච්ඡා සිදුකරන අතර මෙම ජනතාව නෙදුන්කේණි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය යටතට එක්නොකරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසීය.

විරෝධතාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීදරන් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ශිවශක්ති ආනන්දන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා යන මහත්ම මහත්මීහු ඇතුළු දෙමළ ජාතික සන්ධාන ප්‍රාදේශිය දේශපාලඥයින් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාව සඳහා එක්ව සිටියහ.