(ඩයනා උදයංගනී)

පළාත් සභා මගින් පාලනය වන දිස්ත්‍රික් මහ රෝහල් නවයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් රෝහල් මෙසේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පැවරීමට තීරණය කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් එක් රෝහලක් තෝරාගෙන කොළඹ ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම්වලට සමාන පහසුකම් ලබාදෙමින් වැඩිදියුණු කිරීමට රජය සැලසුම් කර ඇති අතර ඒ අනුව මෙම රෝහල් ද සංවර්ධනය කිරීමට නියමිත බව ඇමතිවරයා කීවේය.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

සේවා සැපයීමේ ගුණාත්මකභාවය, සමානාත්මතාව සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා සහ පහසුවෙන් පරිපාලන කටයුතු කිරීම සඳහා මෙම රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත්කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.