(මුදිතා දයානන්ද)

         

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණ හා එජාපය හැර විකල්ප  ඕන තරම් තිබෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද (6) පැවසීය.

ජයසේකර මහතා මෙසේ පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී එජාප විරෝධී පෙරමුණක් හදන්නේ නම් ශ්‍රී.ල.නි.ප පක්ෂයට පොහොට්ටුව හැර වෙනත් විකල්පයක් තිබේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

පක්ෂය කියන්නේ මම වත් වෙන කෙනෙක්වත් නෙවෙයි. අපේ පක්ෂ සාමාජිකයෝ විශාල පිරිසක් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. අපි එක එක්කෙනාට  ඕන හැටියට මේ පක්ෂය ගෙනිහිං කොහාට හරි හේත්තු කරන්න බැහැ. නිකම්ම කවුරුහරි ප‍්‍රතිපත්තිමය කාරණා සමඟ එකඟවිය හැකි විකල්පයක් ගැනයි අපි බලන්නේ. නිකම්ම අපේක්ෂකයෙක් දැම්ම පළියට දිනන්න බැහැ. සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජනකොටස්වල ආශීර්වාදය මේ අපේක්ෂකයාට අවශ්‍යයි. සිංහල ජනතාවගෙන් පමණක් දිනන්න පුළුවන් නම් මේ මොනවත්  ඕන නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ජාතිවාදී පක්ෂයක් නෙවෙයි. සියලූ ජාතිකත්වයන්ගේ එකමුතුවෙන් හැදුණු පක්ෂයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා යම් ස්ථාවරයකට ඇවිත් තිබෙනවා. ඒ අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෛත‍්‍රිපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඉදිරි දින කීපය ඇතුලත එම සාකච්ඡා සිදුවේවි කියලා අපි විශ්වාස කරනවා.  ඒ අනුව පක්ෂයේ ඉදිරි ක‍්‍රියාමාර්ග හා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ක‍්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තීන්දුවක් ගන්නවා.