(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)

පොලිස් අණ නොතකා ධාවනය වු යතුරු පැදියක් තණමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයකට ඉස්සර කිරිමට යාමේදී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී එහි ගමන්ගත් දහනව හැවිරිදි තරුණයන් දෙදෙනකු මරණයට පත්ව  ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාමය, උඩමත්තල පදිංචි ඒ. ඩී. නවින් ලක්‍ෂත අතපත්තු දිසානායක (19) සහ සිරිවර්ධන රම්පාලගේ කවිඳු ලක්‍ෂාන් (19) යන දෙදෙනාය.

මෙම දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය වෑන් රථයේ ගැටීමෙන් පසු පෙරැළී තරුණයන් දෙදෙනා ඉස්සර කරමින් තිබූ ලොරි රථයට යටවී ඇති බව ද පොලීසිය කියයි.

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ ඇල්ලගල හන්දියේ දී එදින රාත්‍රී අටත් අටයි තිහත් අතර දී ලුණුගම්වෙහෙර පොලිස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් තිස්සමහාරාම දෙස සිට පැමිණි මෙම යතුරුපැදියට නවත්වන ලෙස අණ කර ඇත.

 එහෙත් පොලිස් අණ නොතකා යතුරු පැදිය තණමල්විල දෙසට ධාවනය කර ඇති බව ද පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරී යතුරු පැදියෙන් පොලිස් අණ නොතකා ධාවනය වෙන යතුරු පැදිය පසුපස හඹාගොස් ඇත. ලුණුගම්වෙහෙර රණවර්ණාව හන්දියේ ඇති පොලිස් මාර්ග බාධකයෙන් ද යතුරු පැදිය නැවැත්වීමට උත්සාහ කළ ද එම අණ ද නොතකා නොනවත්වා ධාවනය කර ඇති බව  තණමල්විල පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් දෙදෙනා ලුහුබැඳ එන නිසා තරුණයන් දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර තණමල්විල පොලිස් වසමේ කිතුල්කොටේ අලිමංකඩ ආරම්භවන ප්‍රදේශයේ දී ලොරි රථයකට ඉස්සර කරද්දී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී යතුරුපැදිය පෙරළී ගමන්ගත් තරුණයන් දෙදෙනා ලොරි රථයට යටවී මියගොස් ඇති බව තණමල්විල පොලීසිය පැවසුවේය.

මෘත දේහයන් කණමල්විල රොහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. තණමල්විල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.