(චමිල් රූපසිංහ)
පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ ප්‍රහාරය සම්බන්ධව දේශපාලන අංශවල කිසිවෙකු සම්බන්ධ නම් ඔවුන්ගෙන්ද තරාතිරම නොබලා ප්‍රශ්න කළ යුතු බවත් එසේ නොමැතිනම් මෙම ප්‍රශ්නය විසඳා ගත නොහැකි බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන් වහන්සේ පවසති.
මහානායක හිමිවරු හා කාඩිනල්තුමා මේ සම්බන්ධව ප්‍රකාශ කළ බවත් නිසි පරිදි පරීක්ෂණ කිරීමට ඉඩ නොලැබුණොත් එය මීට වඩා තත්වයකට අතවැනීමක් බවද අස්ගිරි අනුනායක හිමියෝ පැවැසූහ.
අනුනාහිමියන් මේ බව පැවැසුයේ ජී. එල්. පීරිස් මහතා ඊයේ හා අද (4 හා 5) මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් සහ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
රටේ සමස්ථ පද්ධතියම බිඳ වැටි ඇති බවත් බෞද්ධ කටයුතුවලදීත් මේ වන විට ගැටලුවක් වී ඇති බවත් සෑම පුද්ගලයෙකුටම වැරදි පැටවීම සුදුසු නැති බවත් පොදුජන පෙරමුණද මේ අවස්ථාවේදී හැකි සහයෝගයක් ලබාදී මෙය විසඳිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය මෙහි භයානක බව වටහා ගත යුතු බවත් සියලු දෙනා එකතුව පොදු තීරණ ගත යුතු බවත් හිමියෝ පැවැසූහ.
පසුගිය දශකය තුළ සතුටුදායක මානසිකත්වයක ජීවත් වූ බවත් එය මේ වන විට විනාශව ඇති බවත් මේ ප්‍රහාරය සම්බන්ධව රජය තොරතුරු දැන සිටි බවත් මෙය වැළැක්වීමට කටයුතු කරන්නට තුබු බවත් ආරක්ෂක අංශ මේ වන විට කරන කාර්යය අගය කරන බවත් එම බිහිසුණු ස්වභාවය තවමත් අවසන්ව නොමැති බවත් මල්වතු පාර්ශවයේ අනුනායක නියන්ගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ කීහ.
මෙම ත්‍රස්ත ක්‍රියා සෑම රජයකදීම දීර්ඝ කාලයක් තිස්සේ පැවැතුණ ක්‍රියාවක් හැටියට මෙම ත්‍රස්ත ක්‍රියාව දකින බවත් ජන වර්ග කණ්ඩායම්වල අන්තවාදී කණ්ඩායමක් ආගමික උමතු බව නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන බවත් මෙයට පසුබිම දේශපාලඥයන් විසින් ඇති කළ බවද ලේඛකාධිකාරි හිමියෝ පැවසූහ.
මේ රටේ තියෙන්නෙ එක ආණ්ඩුවක් නොව, ආණ්ඩු දෙකක් බවත් ආණ්ඩු දෙකක් පවතිද්දි එක කොටසක් නීතියක් පනවන විට අනිත් පිරිස එය අවලංගු කරන බවත්, මේ නිසා ගැටලුවලට මුහුණ දෙන්න වෙන්නෙ රටේ ජනතාවට බවද ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ ජී. එල්. පීරිස් මහතා හමුවේ පැවැසූහ.



COMMENTS
කොයිතරම් ඔබ වහන්සේලා කිව්වත් මේවට කන් දෙන පාටක් තවම නැහැ. ඒ පළාත්වල මැතිඇමතිවරුන්ට ඕනෙම දෙයක් කරගන්න ඉඩ දීලා නිහඩව බලා තියෙන බව තමයි පෙන්නේ.
මේ මහාචාර්ය තුමා මල්වට්ටි පිරිකර අර ගෙන මාසෙකට වතාවක් මේ බැහැදකින්න යන්නෙ අවංකව රට ගැන හිතලද? මේ වගේ දේවල් මෙතුමා අාණ්ඩුව කරන කාලෙ උනේ ම නැතිවගේ කතාව. මහින්ද මහතා මේ උන්නැහේගෙ එක්ක අලුත් ගමනක් යාවිද?
මේ අයගේ ආණ්ඩුව කාලේ තමයි රටේ විනය හුඟක්ම පිරිහුනේ
වැඩක් නැහැ හාමුදුරුවනේ, දේශපාලඥයෝ කියන උන් මළාට ඇත්ත කියන ජාතියක්ද?
පන්සලෙන් එළියට ඇවිත් මිනිස්සු එක්ක එකට එකතුවෙලා ආගම දහම ගැන කතා කළොත් රටයි, බුද්ධාගමයි රැකෙයි. පන්සල අස්සේ ඉඳගෙන තියෙන බිල්ඩින් වැඩිකර ගන්න එකයි, යන්න එන්න ලොකු වාහන ගන්න එකයි අත ඇරියොත් මිනිස්සු සංඝයා වහන්සේලා ගැන විශ්වාසයක් ඇතිකර ගනී. එන එන දේශපාලකයාට සපෝට් එකට ඒ ඒ අවස්ථාවේ කතාව වෙනස් කරන, දායකයන්ට කිසිම උදව්වක් නැති, අනික් ආගම්වල අය ඒ දේවල් කරන කොට ඒවා විවේචනය කරන හාමුදුරුවරු තමයි දැන් ඉන්නේ... අඩුම ගානේ වෙන විකාර නිකායවල හදන තමන්ගේ ආගමේ ජෝකර්ලවත් හරි මාර්ගෙට ගන්න බැරි අය තමයි මේ...