(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබූ සියලු කටයුතුද ( යෝජනා)පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් සමඟ අහෝසිවී  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කර තිබූ  ප්‍රශ්නද මේ අනුව අහෝසිවී ඇත.

පාර්ලිමේන්තුවේ  න්‍යාය පත්‍රයේ කටයුතු මෙලෙස අහෝසි වී ඇතත් නව සැසිවාරය විවෘත කිරීමෙන් පසඒවා අලුත් න්‍යාය පත්‍රයක්  යටතේ නැවතත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ අතර  පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත පරිශ්‍රයේදී පසුගිය දිනවල ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කතානායකවරයා විසින් පත්කෙරුණු කමිටුව පාර්ලිමේන්තුවේ  සැසිවාරය අවසන් කිරීමත් සමග  අහෝසි වී නොයන බව  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

එම කමිටුව කතානායකවරයා විසින් පත් කරනු ලැබ ඇත්තේ ස්ථාවර නියෝග යටතේ නොවන බවද හෙතෙම සඳහන් කළේය.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සභාපතිත්වය දරන එම කමිටුවට  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරු එකොළොස් දෙනෙක් ඇතුළත් වෙති.