(*** සුජිත් හේවාජුලිගේ)

මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්නොවන දිනවල පැවැත්වෙන එහි කමිටු රැස්වීම්වලට ද සහභාගිවීමට අවසර ලැබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසුමක දී ඔහු පැවැසුවේ එම කමිටු රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී ප්‍රේමලාල් ජයසේකර මහතා ඒවාට සහභාගි කරවන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දෙන බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වෙනත් උත්සව හා සාකච්ඡාවලට සහභාගිවීමට ඔහුට අවසර නැතැයිද වේත්‍රධාරිවරයා සඳහන් කළේය.

ප්‍රේමලාල් ජයසේකර මහතා ඉකුත් සතියේ පැවැති පාර්ලිමේන්තු රැස්වීම් හතරටම සහභාගි විය.

අධිකරණයේ අවසරය මත ජයසේකර මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට ඒ දින හතරේම ආරක්ෂක රැකවරණ යටතේ කැඳවාගෙන එනු ලැබීය.

මරණ දඬුවම නියමවීමෙන් පසුව ප්‍රේමලාල් ජයසේකර මහතා මේ වනවිට රඳවනු ලැබ සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය.