(ඩයනා උදයංගනී)

චීන පොහොර සමාගමට වන්දි මුදලක් ලබාදුන්නත්, ඔවුන් නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදෙන තුරු එම සමාගම ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක බැඳුම්කරය නිදහස් කරන්නේ නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

එම සමාගමට වන්දි ලබාදීම සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අනුකූලවල යළිත් පොහොර ලබාදෙන කොන්දේසිය යටතේ බව කී ඇමතිවරයා ඔවුන්ගේ බැඳුම්කරය නිදහස් නොකළ බව ද සඳහන් කළේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද  (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

පොහොර තොගයට අදාළව පැවති අධිකරණ කටයුත්ත සම්බන්ධයෙන් නීතිපතිතුමන් ලබාදුන් පැහැදිලිකිරීම සහ මගපෙන්වීම යටතේ අදාළ සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක වන්දියක් ගෙවීමට රජය තීරණය කළ බව ද ඇමතිවරයා කීවේය.

ඔවුන් ඉදිරියේදී මෙරට ප්‍රමිතියට අනුකූල පොහොර ලබාදිය යුතු අතර එම පොහොර සඳහා කිසිඳු මුදල් ගෙවීමක් නොකරන බව ද පැවසීය.