(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය  ගජනායක ගම ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් වයස අවුරුදු 15 ක පිරිමි ළමයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ගජනායකගම අම්බල ගෙදර පදිංචිව සිටි මොහොට්ටිගේ සචින්ත නිම්සර නම් ළමයා බව පොලීසිය පවසයි.

මියගිය ළමයාගේ පියා තවත් පිරිසක් සමග පැවැති ආරවුලක් ඇති වූ ස්ථානයට ගිය අවස්ථාවේ මෙම වෙඩි වැදීම සිදු වී ඇතැයි පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී ඇත.

මිය ගිය ළමයාගේ සිරුර වීරකැටිය ප්‍රදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

ගැටුමට සම්බන්ධට බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනකු  අත් අඩංගුවට ගෙන තිබූ අතර ළමයාට වෙඩි තබන ලද පුද්ගලයා පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මහේස්ත්‍රාත් පරීක්ෂණය වලස්මුල්ල වැඩබලන මහේස්ත්‍රාත් එල්.බී.හේරසිංහ මහතා විසින්  සිදු කරනු ලැබීය.

වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට තිබූ මිය ගිය සිසුවාගේ සිරුරද මහේස්ත්‍රාත්වරයා  නිරීක්ෂණය කරනු ලැබීය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මහේස්ත්‍රාත් වරයා පොලීසියට නියෝග කරනු ලැබුවේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන මස 05 වැනි දින වලස්මුලල මහේස්ත්‍රාත් අධිකරණයට වැඩි දුරටත් කරුණු වාර්තා කරන ලෙසයි.

තංගල්ල කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අබේපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ වීරකැටිය පොලීසියේ   ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශනාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාරඹගේ යන  මහත්වරු වැඩිදුර පරික්ෂණය සිදු කරති.