(ඩයනා උදයංගනී)

පාදුක්ක පොලිස් ස්ථානයට නව ස්ථානාධිපතිවරයෙක් පත්කිරීමේ ක්‍රියාවලියට දී කිසිඳු දේශපාලනයක් ගෑවී නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

මෙම පොලිස් ස්ථානයට තමන්ට හිතවත් අයකු පත්කරදෙන ලෙස දේශපාලන බලපෑම් කළේ ජගත් කුමාර මන්ත්‍රීවරයා බව කී සරත් වීරසේකර මහතා ඔහු උරණ වී ඇත්තේ තමාට හිතවත් අයකු ස්ථානාධිපතිධූරයට පත්කරගැනීමට නොහැකි වූ නිසා යැයි ද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජගත් කුමාර මන්ත්‍රීවරයාට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා ලෙස තමා පක්‍ෂයට දැනුම් දී තිබෙන බව ද ඇමතිවරයා කීවේය.

පාදුක්ක පොලිස් ස්ථානයට තමාට පක්‍ෂපාතී පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත්කරන ලෙස පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා තමාගෙන් ලිඛිතව හා වාචිකව ඉල්ලීම් කළ බව ද වීරසේකර මහතා පැවසීය.