
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉවත් කිරීමේ තර්ජනයකට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන කෲඩියා සෙලනිකා හෙවත් පඬුකරද ගස ආරක්ෂා කිරීමේ අරමුණින් මහා සංඝරත්නය අද(10) එහි ගොස් සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා පැවිදි කර සාංඝික දේපළක් බවට පත්කළහ.
ජාතික භික්ෂු පෙරමුණ හා පුරාවස්තු සුරකීමේ සංවිධානයට සම්බන්ධ මහා සංඝයා වහන්සේලා පිරිසක් ගස පිහිටි ස්ථානයට වැඩම කළ අතර එහිදී ආගමික වතාවත් සිද්ධ කළහ. අනතුරුව සංඝයා වහන්සේලා ගස වටා චීවරයක් පළඳා පිරිත් නූල් බැඳ පඬුකරඳ ගස සාංඝික දේපළක් බවට පත්කළහ.
මෙහිදී අනුශාසනාවක් කළ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික තංගල්ලේ නාරද හිමියෝ සඳහන් කළේ රටක පාලකයින් පත් කරගනු ලබන්නේ ජනතාව සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට වුවත්, වර්තමානයේ ආණ්ඩුවෙන් රටත් පරිසරයත් බේරා ගැනීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බවයි. මෙම ශාකයේ තවත් ගස් කිහිපයක් ඇති බවට රජය ප්‍රකාශ කරමින් ගස විනාශ කිරීමට උත්සාහ ගත්තත් ටේත් ලෝකයේත් බෝධි වෘක්ෂ ගණනාවක් තිබෙන සමයක ශ්‍රී මහා බෝධිය ඉවත් කිරීමට කිසිවෙකු සූදානම් නැති බව නාරද හිමියෝ මෙහිදී අවධාරණය කළහ.
අද දවසේ මෙම ගස සාංඝික කර චීවරයක් පළන්දන ලද්දේ ආණ්ඩුවෙන් ගස ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් වශයෙන් බවද උන්වහන්සේ සඳහන් කළහ.
පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ මෙහිදී ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා කොන්ද කෙලින් තියාගෙන පොදු දේපල රැක ගැනීමට බිය නොවිය යුතු බව රාජ්‍ය සේවකයින්ට පවසා ඇති වුවත්, අද එසේ කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට පියවර නොගන්නා බවයි. අපට පමණක් නොව පරිසරය ආරක්ෂා කරගැනීමට වැදි නායකයාටත් ආණ්ඩුව සමඟ නඩු කියන්නට සිදුවීම කනගාටුවට කරුණක් බව ද සමිත හිමියෝ සඳහන් කළහ.ගස් කොළකොළන් පැළ කිරීමට වවුලන්ගෙන් විශාල සේවාවක් සිදු වුවත් අද ආණ්ඩුව වවුලන් කරන සේවාවවත් පරිසරය වෙනුවෙන් නොකරන බවට සමිත හිමියෝ මෙහි දී චෝදනා කළහ.
ජාතික භික්ෂු පෙරමුණේ සාමාජිකයින් වන හෝමාගම ආනන්ද, තලහගම ඥානසිරි, අත්තයාල විජිත යන හිමිවරුන් ද ගම්පහ දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමයේ හා මුතුරාජවෙල අභය භූමිය රැක ගැනීමේ සංවිධාන නියෝජිතවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
දෙවියන්ගේ පිහිටෙන් ඔය පැත්තට නන්දසේන නම් යන්න එපා.. ගියොත් මේ ගහ විතරක් නොවේ මුලු වනාන්තරේම ඉවරයි.
මම ඉන්නේ ස්වීඩනයේ... මෙහෙ තියෙන කිසිම වටිනාකමක් නැති පයින් ගස් පවා ඉදිකිරීම් කටයුතු කරනකොට ආවරණය කරලා ආරක්ෂා කරනවා. වටිනා කියන ගස් කපන්න වෙනම අවසර ගන්න ඕනේ. ආවට ගියාට අවසර දෙන්නේ නැහැ. මෙහෙ ඔහොම වදවෙන ගහක් හමුවුණා නම් ඔය ගහ වටේ පැත්ත පළාතේ සවලක්වත් ගහන්න දෙන්නේ නැහැ. පාරක් නම් නවලා ගහ වටෙන් ආරක්ෂාකාරීව යවනවා!! ඒකට අපේ නිලධාරීන් චීනාට ඕනේ විදිහට මහා පර්වත වටිනා ශාක සුණුවිසුණු කරනවා. අන්තිමට මතු පරපුරට ඕවා දකින්න වෙන්නේ ෆොටෝ වලිනුයි මුද්දර වලිනුයි. රටකට ගිය කලක්..!!!
දැන් ඉන්න ස්වාමීන් වහන්සේලාගේත් වෙනසක් නෑ. ගස් ගල් වගේ තමයි.
වැඩේ නම් එළකිරි. රටේ නායකයාගෙන් පරිසරය ආරක්ෂා කරන්න මේවා තමයි කරන්න ඕනෑ...
ඔය ගහ මුරකරේ නැත්නම් කවුරුහරි රෑට වැඩක් දෙයි. දන්නවනේ අර 225 ගැන.
ගස රැකගැනීමට පරිසර සංවිධාන හා එක්ව කටයුතු කිරීම අගයකළයුතු දෙයක්... මාත්, බෞද්ධ. ඒත්, මෙතැනදී මේ බුද්ධ චීවරය මේකට යොදාගත් එක එතරම් කාලෝචිත නොමැති බව තමයි සිතන්නට වෙන්නේ. මන්ද, මේ වැඩේදී රටේ කිතුනු ඇතුළු අන් ආගමිකයන්ද ගත්තේ දේවානි මහත්මියගේ නිවැරදි පැත්ත. ඒ නිසා අන් ආගමික අයගේ සිත් මේ නිසා පුංචි හෝ රිදීමක් නොවීමයි වැදගත් වන්නේ. ඒ වගේම අද සමහර පැවිද්දන් බුද්ධ චීවරයට දෙන නිගාව ගැන මේ අය කිසියම් පියවරක් ගන්නේ නම්, එය වඩා උතුම් නොවන්නේද?
ශාක සම්පත ආරක්ෂා කරගැනීම නම් හොඳයි. ඒත් ගස් පැවිදි කරකර බුදුදහම විහිළිවක් කරන එක නම් සුදුසු නැහැ.
ජනතාව පුදුම වදයක් විඳින්නේ. ගස්කොළ, වනාන්තර ටික බේරගන්න රජයට බැරිද? වනසංහාරය ඉවර වෙන්නේ කාන්තාරයක් කරලද දෙයියනේ.
එක නාලිකාවක් වලිකනවා නේද "මේ ගස් රට පුරාම බෝවෙලා තියෙද්දී මේ එක ගහක් ගැන ඔයතරම් රුදාවක් මොන එකකටද" කියලා මතයක් ගොඩ නගන්න. වැඩේ හරියන්නේ නැති පාටයි.
ඔක්සිජන් කන්නද කියලා අහපු අයට සම්මාන... පරිසරය රැකගන්න රාජකාරිය අකුරට කරන නිලධාරිනියට තහංචි. මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි..!!! සතුටුයි සර්..!!!
උතුම් මෙහෙවරක් කළ ගරුතර ස්වාමීන් වහන්සේලාට අනේකවත් පින් අයිතිවේවා..!!! ඔබ වහන්සේලාගේ නම් වත් මම කලින් අසා තිබුනේ නැහැ. ඒ සමහර විට ඔබ වහන්සේලා, දේශපාලුවන්ට පිරිත් නුල් බඳින නිකායේ නොවන නිසයි කියලයි මම හිතන්නේ. ස්වාමීන් වහන්ස..., ඕලන්දය හෙවත් නෙදර්ලන්තය විශාල ගස් ට්‍රාන්ස්ප්ලාන්ට් කිරීම පිළිබඳව ලෝකයේම ප්‍රසිද්ධියක් උසුලනවා. මේ ගැන සොයා බලද්දී මට දැනගන්න ලැබුණා මේසා විශාල ලෙස පැතිරුණු මූලපද්ධතියක් ඇති ගසක් නැවත රෝපණය කිරීමට ඒ රටේ ආයතනවත් අත නොගසන බව. එසේ කළහොත් ගසේ ජීවත්වීමේ සම්භාවිතාවය 50%ක් පමණක් බවයි ඔවුන් සඳහන් කරන්නේ. නමුත් අපේ රටේ සිටින මෝඩයින් " ටික දෙනෙක් " පමණයි මේ ගසට වෛර කරන්නේ. ඔවුන්ගේ එකම අභිප්‍රාය මේ ගස මෙතනින් අයින්කොට "තමන්ට ලැබෙන ජරාවෙන් " සාක්කු පුරවාගැනීම පමණයි. මේ සටනට උරදෙන සියලුම දෙනාට උතුම් වූ බුදුන්ගේ බලයෙන්, දෙවියන්ගේ ආශීර්වාදයෙන් දිරිය ශක්තිය නොමඳව ලැබේවා...!!!
පාලකයින් සීමාවක් නැතුව කරන පරිසර විනාශයට එරෙහිව සංඝරත්නය පෙරට ඒම සුභ නිමිත්තක්...
සාදු..!!! සාදූ..!!! ඔබ වහන්සේලාගේ ඉදිරිපත් වීම ඉමහත් සතුටට කරුණකි. එමෙන්ම මෙම ගස ආරක්ෂා කළ යුතු බවට තීරණයක් ගත් නිර්භීත නිලධාරිනියටත් ආරක්ෂාව සලසන්නට අපි එක්වෙමු...!!!
ඇමරිකානු තානාපති කර්යාලය වටා සිවුරක් ඇඳලා ඒක සාංඝික කරපු දාට තමයි NGO වලට තරු පේන්නේ.
තායිලන්තයේ ගස් පැවිදි කිරීම ඉහළින්ම කරන වෘක්ෂ ආරක්ෂා කර ගැනීමේ සිරිතකි..