IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


‘නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අල්ලන්න ගත් තීරණයට මා විරුද්ධ වුණා‘

(***මුදිතා දයානන්ද)

ලිපි ගොනුවක් විවෘත කර නැති, විමර්ශන අවසන් නොකළ කාරණාවක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නීතිමය වශයෙන් වැරදි ක්‍රියාමාර්ගයක් නිසා ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ගෙන තිබූ තීරණයට තමන් විරුද්ධ වුණා යැයි හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ඊයේ (30) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ විශේෂ කාර්යාලයකදී ඊයේ රැස්වූ අවස්ථාවේදීය.

2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලයේ රජයේ නිලධාරින්, රාජ්‍ය සංස්ථා සේවකයන් හා සන්නද්ධ හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් මුහුණ දුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සඳහා විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කොමිසම පත්කරන ලදී.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු හා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රතිලක මහත්වරු කොමිසමේ සාමාජිකයෝ වෙති.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ලෙස රජයට පවරා ගත් බවද එයින් තමන්ට අලාබ සිදුවු බවද පවසමින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාළව විශ්‍රාමික නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතාගෙන් ඊයේ සාක්ෂි විමසනු ලැබිණි.

පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ජනාධිපතිවරයා විසින් කොමිසම පිහිටුවා තිබෙන ගැසට් පත්‍රවලට අනුව පැමිණිලිකාර නිශ්ශංක සේනාධිපති මහතාට මෙම කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමේ නීතිමය හැකියාවක් නැතැයි පැවසීය.

තම සේවාදායකයා අවස්ථා කීපයක දී කොමිසම හමුවටත් ජුලි 02 වැනිදාට මෙහි විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් කැඳවා ඇති නමුත් තවමත් ඔහු මෙහි වගඋත්තරකරුවෙක් වන්නේ කෙසේද? යන්න දන්වා නැති බව ද ඒ අනුව තමන් කොමිසම හමුවේ හෝ විමර්ශන ඒකකයට හෝ ප්‍රකාශයක් ලබාදිය යුත්තේ කුමක් වෙනුවෙන් ද යන්න සම්බන්ධයෙන් නොදන්නා බව ද සාලිය පීරිස් මහතා පැවසීය.

උපුල් ජයසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගම මහතා ද කොමිසම හමුවේ කරුණු දක්වමින් විශ්‍රාමික නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පසුගිය වර කොමිසම හමුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් දැනුවත් බවක් නැති නිසාත්, ඔහු සම්බන්ධ වූ මාධ්‍ය සාකච්ඡාවල පිටපත් ලැබී නැති නිසාත් මෙදින ගම්ලත් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට නොහැකි බවත් ඒ අනුව වෙනත් දිනයක් ඊට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව පැවසීය.

හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානුක ද සිල්වා මහතා කරුණු දක්වමින් තම සේවාදායිකාව මෙම කොමිසම හමුවට කැඳවීම හා මෙම පැමිණිල්ල මෙම කොමිසම හමුවේ විමර්ශනය කිරීම සම්බන්ධයෙන් වන මූලික විරෝධතාව කොමිසම හමුවේ වාචිකව දැක්වීමට අවස්ථාවක් ලබානොදුන් බැවින් එය ලිඛිතව ලබාදෙන බවත් ඉදිරියේදී හරස් ප්‍රශ්න විමසීම් සිදුකරනු ලබන්නේ එම විරෝධතාවයට යටත්ව බවත් පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විශ්‍රාමික නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීය.

අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා- ඔබ මීට පෙර මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා. එහිදී සති අග පුවත්පතක් හා රූපවාහිනි නාළිකාවක් සමග ඔබ කළ සම්මුඛ සාකච්ඡා දෙකකදි කළ ප්‍රකාශ එම මාධ්‍යවල සත්‍ය ලෙසම ප්‍රචාරය වී තිබූ බවද ඒවායේ තමන් සඳහන් කළ කරුණු සත්‍ය බවද පිළිගත්තා.
විශ්‍රාමික නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා - ඔව්.

ප්‍රශ්නය - එහි පුවත්පත් සාකච්ඡාවේදී ඔබ සඳහන් කර තිබුණා එක්තරා දිනකදි පස්වරු හය හමාරට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පැමිණ ඔබ හමුවූ බව.
පිළිතුර - එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහතා මට දුරකථනයෙන් කතා කර ඇහුවා එම්.වී. මහනුවර නෞකාව අත්අඩංගුවට ගැනීමට අදාළව හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් තියෙනවා. ඒකට උපදෙස් අවශ්‍යයි. අපේ නිලධාරීන් කණ්ඩායමක් එවන්න උපදෙස් දෙන්න පුළුවන්ද කියලා.

ප්‍රශ්නය - ඒ දිනය ඔබට මතකද?
පිළිතුර- නැහැ.

ප්‍රශ්නය - මෙම සිදුවීමට අදාළව ලිපිගොනුවක් ඒ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවේ විවෘත කර ඇති බව ඔබ දැන සිටියා ද?
පිළිතුර - නැහැ. මා දන්නා තරමින් ඒ වන විට ලිපි ගොනුවක් විවෘත කර තිබුණේ නැහැ. මම තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය භාරව සිටියේ. ඒ නිසා එවැනි ලිපිගොනුවක් විවෘත කළා නම් මා දැන සිටිය යුතුයි. එහෙත් ඒ දක්වා මා එවැන්නක් දැන සිටියේ නැහැ. නමුත් පසුව දැන ගත්තා එවැනි ලිපි ගොනුවක් තිබු බව.

ප්‍රශ්නය - ඔබ හමුවීමට පැමිණි අපරාධ පරීක්ෂණ නිලධාරින්ට ඔබ උපදෙස් දුන්නා ද?
පිළිතුර - මා අපේ නිලධාරියකු වූ වසන්ත නවරත්න බණ්ඩාරට කතා කරලා මේ ගැන සොයා බලා උපදෙසක් දෙන්න කිව්වා. අර නිලධාරින් කණ්ඩායමට කිව්වා සිදුවුණේ මොකක්ද කියලා මට කියලා යන්න කියලා. මා එසේ කළේ මේ සම්බන්ධයෙන් වගකීම පැවරුණ කෙනෙක් ලිපිගොනුවක් ඒ වන විට නොතිබු නිසයි. එවැනි ලිපිගොනුවක් ඇති බව දැන සිටියා නම් එය භාර නිලධාරියාටයි ඔවුන් යොමු කරන්නේ.

ප්‍රශ්නය - අපරාධ අංශය භාරව සිටින්නේ ඔබ නම් ඔබ නොදැන ලිපිගොනු විවෘත වන්නේ කෙසේද?
පිළිතුර - මේවා විවෘත විය යුත්තේ මා දැනුවත්ව තමයි. එහෙත් නීතිපතිවරයා මගිනුත් ලිපිගොනු විවෘත වෙනවා.

ප්‍රශ්නය - ඔබට දැනගන්න ලැබුණා වසන්ත නවරත්න බණ්ඩාර ඔවුන්ට උපදෙස් ලබාදී ඇති බව.
පිළිතුර - මමයි ඔහු වෙත අර නිලධාරීන් යොමු කළේ. එහිදී ලැබුණ උපදෙස් ගැන මට දැනුවත් කරන්න කිව්වත් එහෙම වුණේ නැහැ. ඒ නිසා මම ශානි අබේසේකර මහතාට කතා කරලා ඇහුවා මොකද වුණේ කියලා. ඔහු කිව්වා කීප දෙනෙක් අත්අඩංගුවට ගන්න කියලා උපදෙස් ලැබුණ බව. මම එයට විරුද්ධ වුණා. මම කිව්වා එහෙම කරන්න එපා කියලා.

ප්‍රශ්නය - ඇයි එහෙම උපදෙස් දුන්නේ?
පිළිතුර - මේ සිදුවීම සම්බන්ධයෙන් නඩුවක් ගොනුකිරීමට එතෙක් විමර්ශන සිදුකර තිබුණේ නැහැ. ලිපි ගොනුවක් නැහැ. ගිනි අවිආඥා පනත යටතේ මේ සිදුවීමට අදාළව නඩු පවරන්න හැකියාවක් නැහැ. මේ නිසයි මා විරුද්ධ වුණේ. මා නීතිපතිතුමාට ඒ ගැන දැනුවත් කළා.

ප්‍රශ්නය - ඔබ හමුවීමට යම් නීතිඥවරයෙක් පැමිණි බව මේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කර තිබුණා. ඔහු පැමිණියේ කුමක් සඳහාද?
පිළිතුර - ඔව්. උපුල් ජයසූරිය මහතා පැමිණියා. ඔහු මගේ මිත්‍රයෙක්. ඒ නිසා නිතර මා හමුවීමට පැමිණ නොයෙක් දේවල් කතා කරනවා. එදා ආවේ මොකට ද කියලා නම් මම දන්නේ නැහැ. එදා ඇවිත් කතා කළේ නම් මේ ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් තමයි. මේක බරපතළ ප්‍රශ්නයක්. මේ අය අධිකරණයට ගේන්න ඕන වගේ දේවල් ඔහු කිව්වා.

ප්‍රශ්නය - ඉන්පසු දවසක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හමුවී ඔබ උපදෙස් ඉල්ලා සිටියා?
පිළිතුර - සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා හමුවුණා. ඔහු මගෙන් ඇහුවා මෙම ඇවන්ගාඩ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකුට විදේශගත වෙන්න ඕන කියලා පාස්පෝට් එක ඉල්ලනවා, මොකද කරන්නේ කියලා. අපේ අය සැකකාරයෙක් අල්ලගත්ත ගමන් ඒ අයගේ පාස්පෝට් එකත් අත්අඩංගුවට ගන්නවා. මේක මම නම් අනුමත කරන්නේ නැහැ. ඔවුන් මානව හිමිකම් නඩුවක් දැම්මොත් අපිට ප්‍රශ්නයක් වෙනවා. මේ නඩුව තවම විමර්ශන අවසන් වුණ එකක්වත් නෙවෙයි. ඒ නිසා මම කිව්වා ඒක දීලා දාන්න කියලා.

ප්‍රශ්නය - අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවක් ගැනත් ඔබ මේ මාධ්‍ය සාකච්ඡාවෙදි කියලා තිබුණා.
පිළිතුර -අරලියගහ මන්දිරයේ එක සාකච්ඡාවක් නෙවෙයි කීපයක්ම තිබුණා. සමහර වෙලාවට ජනාධිපති මන්දිරයෙත් සාකච්ඡා පැවැත්වෙනවා. මෙතනට නීති අංශයේ ආයතන ගණනාවක නිලධාරීන් ගෙන්වනවා. පොලිසියේ නිලධාරීන් ගෙන්වනවා.
ගෙනත් නඩුවල ප්‍රගතිය අහනවා. මේවා තමයි වැරදි වැඩ. කාගෙන් ලැබුණ උපදෙසක්ද කොහෙන් සොයාගත් ක්‍රමවේදයක්ද කියලා අපි දන්නේ නැහැ. මෙවැනි දේ ඊට පෙර ඉතිහාසයේ කවදාවත් සිදුවෙලත් නැහැ. අනාගතයෙදීත් සිදුනොවිය යුතුයි කියන අදහසේ තමයි මම ඉන්නේ.

කොමිසමේ සභාපති- කවුද මේ සාකච්ඡා පවත්වන්නේ?
පිළිතුර - අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි ඒවා පැවැත්වූයේ

කොමිසමේ සභාපති- අගමැති ලෙස ඔබ හඳුන්වන්නේ කවුද?
පිළිතුර - හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

 ප්‍රශ්නය - තවත් දවසක ඔබ විවාහ මංගල උත්සවයක සිටියදී කිසියම් විශේෂ දුරකථන ඇමතුමක් ලැබුණා ද?
පිළිතුර - ඔව්. උපුල් ජයසූරිය මහතා මට ඇමතුමක් ගෙන කිව්වා අගමැතිතුමා ඔබ එනකල් බලා ඉන්නවා කියලා. උපුල් ජයසූරිය මහතා මා සමග හමුවන හැම අවස්ථාවකම වගේ ඇවන්ගාඩ් නඩු ගැන කතා කරන නිසා මම දැනගගත්තා මේක ඇවන්ගාඩ් සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙන්න ඇති කියලා. ඒ නිසා මම ගියා.

ප්‍රශ්නය - එහිදි විශේෂ යමක් සිදුවුණා ද?
පිළිතුර - පාඨලී ඇමතිවරයා දොස් කිව්වා ඇවන්ගාඩ් නඩුවේ සැකකරුවෙකුගේ පාස්පෝට් එක කවුරුහරි ආපසු දීලා. එම නිලධාරියාගේ වැඩ තහනම් කරන්න ඕන කියලා කිව්වා. මේක බරපතළ ප්‍රශ්නයක්, ආදී වශයෙන් ඔහු විදේශ ගතවූ පසු සිදුවිය හැකි ගැටලු රැසක් ඉදිරිපත් කළා. මම කිව්වා මමයි ඒක ආපසු දෙන්න කියලා උපදෙස් දුන්නේ කියලා. ඒකට හේතුවත් මම කිව්වා. ඒත් එතනදී ඉදිරිපත් වූ කරුණු අනුව මමත් ගොඩක් බය වුණා. මම කවදාවත් මේ මනුස්සයාව දැකලා නැහැ. ඔහු මොන වගේද කියලා දන්නෙත් නැහැ. ඔහු රට ගිහින් ආපසු නාවොත් හරි වෙනත් වරදක් කර තිබුණොත් හරි නීතිය රකින්න ගිහින් නැති ප්‍රශ්නයක් ඇතිවෙයි ද කියලා බය හිතුණා.

ප්‍රශ්නය - එතනට සම්බන්ධ වූ ඇමතිවරයෙක් ඔබට බලපෑම් කළාද?
පිළිතුර - සාකච්ඡාව තුළදී නම් විශේෂ දෙයක් සිදුවුණේ නැහැ. නමුත් එතනින් එළියට ආවට පස්සේ පාඨලී චම්පික රණවක ඇමතිවරයා හමුවුණා. ඔහු මගෙන් ඇහුවා මේ ප්‍රශ්නයට සම්බන්ධ වෙලා තියෙන්නේ කවුද කියලා.
 මම කිව්වා පුද්ගලයෙක් හැටියට නම් කියන්න බැහැ. එහෙත් මේක සම්බන්ධ වෙන්නේ ආරක්ෂක ආමත්‍යාංශයට. එහි කිසියම් නිලධාරීයෙක් මගින් තමයි මේක ආරම්භ කරන්න ඇත්තේ කියලා. ඉන්පසු ඔහු කිව්වා සාක්ෂි තිබෙනවා නම් වහාම අත්අඩංගුවට ගන්න කියලා. ඔහු කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බවයි.

ප්‍රශ්නය - කැබිනට් ඇමතිවරයෙකුට පුළුවන්ද නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරන්න?
පිළිතුර - කැබිනට් ඇමතිවරයෙක් ප්‍රශ්න කිරීම පමණක් නෙවෙයි මේ සිදුවුණ ක්‍රියාදාමයම වැරදියි. මේක යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමක්.

ප්‍රශ්නය - ඔබට එම සාකච්ඡාවට සම්බන්ධ වූ දේශපාලනඥයින්ගේ නම් කියන්න පුළුවන්ද?
පිළිතුර - මට නම් මතක නැහැ. ඔය මාධ්‍ය සාකච්ඡාවේදී මම ඒ නම් කියලා ඇති. අවුරුදු පහකට විතර කලින් සිදුවු දේවල්නේ. මට මතකයි මා ඉදිරිපිටින්ම අර්ජුන මහේන්ද්‍රනුත් වාඩි වෙලා හිටියා.

ප්‍රශ්නය - එම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙක් ඇවිත් හිටියා ද?
පිළිතුර - ඒ සාකච්ඡාවට නෙවෙයි. වෙනත් සාකච්ඡාවක දි ඒක වුණේ. මෙම ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අපි කීප දෙනෙක් අතර විවිධ මත තිබුණා. ජයන්ත ජයසුරිය හා කපිල වෛද්‍යරත්න මහත්වරු දැරුවේ නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගන්න ඕන. ඒත් ගෝඨාභය මහතා අත්අඩංගුවට නොගත යුතුයි කියන අදහසේ. වසන්ත නවරත්න බණ්ඩාර හිටියේ මේ දෙන්නාවම අත්අඩංගුවට ගන්න ඕන කියන අදහසේ. ඒ නිසා මේ ප්‍රශ්නය නීතිපති ළඟටම ගියා. ඔහු මේ ගැන සොයා බලන්න පත් කර තිබුණෙත් මේ තුන්දෙනාවයි. නීතිපතිතුමා දවසක් මට කතා කරලා කිව්වා අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් තියෙනවා ඒකට යන්න කියලා. මම කිව්වා දේශපාලනඥයින් ගාව අපි උත්තර දෙන්නේ ඇයි? මම නම් ඕවට යන්න කැමති නැහැ කියලා. ඒත් නීතිපතිවරයා කිව්වේ මේක අගමැතිවරයා කැඳවන සාකච්ඡාවක් නිසා යන්න වෙනවා කියලයි. ඒ නිසා මම ගියා. ඒ ගිය සාකච්ඡාවට තමයි වසන්ත නවරත්න බණ්ඩාර මහතාත් ඇවිත් හිටියේ.

ප්‍රශ්නය – ඔබට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ පැවති උත්සවයකදී ඇමතිවරයෙක් හමුවුණා ද?
පිළිතුර - ඔව්. රවි කරුණානායක මහතා හමු වුණා. ආපසු එන අතරතුර දී හමුවී මගෙන් මේ නඩුව ගැන ඇහුවා. මම හිනාවෙලා විහිළුවක් කරන ගමන් නඩුගැන මෙතන කතා කරන්න මම කැමති නැහැ කියලා යන්න ගියා. ඔහු නොරිස්සුමෙන් වගේ බැලුවා. පහුව දා ඔහු පාර්ලිමේන්තුවේදී මට හොඳටම දොස් කිව්වා. කාර්යාලයක පියන් කෙනෙකුට වගෙයි මම ඔහු සැලකුවේ කියලා කිව්වා.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකාර හිටපු අමාත්‍යවරුන් වු පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න , අර්ජුන රණතුංග මහත්වරුන්  ඊයේ කොමිසම හමුවේ පෙනී නොසිට අතර ඔවුන් වෙනුවෙන් නීතිඥවරයෙකු හෝ සම්බන්ධ කර තිබුණේ නැත. හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා ද ඊයේ කොමිසමට සහභාගී නොවීය. මෙහි වගඋත්තරකරුවෙක් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන රජයේ ජ්‍යෙෂඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාට නොතීසි නිකුත් කර තිබුණද මෙතෙක් කොමිසම හමුවේ පෙනී සිටියේ නැත.

පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 16 වැනිදා දක්වා කල්තබනු ලැබීය.



අදහස් (2)

‘නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අල්ලන්න ගත් තීරණයට මා විරුද්ධ වුණා‘

Gamage Wednesday, 01 July 2020 09:50 AM

රටේ මහජනතාවට තේරෙන දේ දේශපාලකයින්ට කඩේ යන වන්දි භට්ටයින්ට තේරෙන්නේ නැති එක තමයි ලොකුම හෙනේ... රටේ සම්පත් හොරාකන අය ආරක්ෂා කරන අයට වෙනම ලෝකයක වෙනම තැනක් ලැබේවි... මගේ රට ආරක්ෂා වේවා...!! සියලුම හොර දේශපාලකයින්ගෙන්...

:       0       88

බද්රානි Wednesday, 01 July 2020 10:09 AM

පුළුවන් තරම් හොරකම් කරපල්ලා මිනිසුනේ! එහෙම නැතිව මේ රටේ වැඩකරලා නම් ගොඩයන්න බැහැ. අනික ඒ වගේද හොරාට තියන පිළිගැනීම...

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි
2025 පෙබරවාරි මස 07 43 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.


’’වී ඇළෙවි මණ්ඩලයට වී ගෙනත් නෑ’’
2025 පෙබරවාරි මස 07 107 0

වී ඇළෙවි මණ්ඩලය වී මිලදීගැනීම ආරම්භ කර දින දෙකක් ගතවී තිබුණද ගොවින් එම මණ්ඩලයට වී අළෙවි කර නොමැති බව වී ඇළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද


ජනපති-ජපාන නිපොන් පදනමේ සභාපති හමුවෙයි
2025 පෙබරවාරි මස 07 163 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්


යුද්දෙට රුසියානු ගිය 59ක් මැරිලා
2025 පෙබරවාරි මස 07 250 0

රුසියන් හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (


තුන්වන පන්තියේ වෙන්කළ ආසන ඉවත්කිරීම අත්හිටුවයි
2025 පෙබරවාරි මස 07 274 0

කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ වෙන්කළ ආසන අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර


ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් තිදෙනකු කටුනායකට
2025 පෙබරවාරි මස 07 920 2

මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 101 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 819 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 759 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site