(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)
රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් 19 දෙනා ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (26) නියෝග කළේය.
රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
ඔවුන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුලදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.
1998 අංක 20 දරණ නවක වධ පනත යටතේ සැකකාර සිසුන් මාතර මූලස්ථාන පොලිසිය ඉකුත් 06 වැනිදා සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණි.ඒ ඔවුන් මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ බාර වීමෙන් අනතුරුවය.
නවක වධයට ලක් වූ බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය.
ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
COMMENTS
ශිෂ්‍යභාවය අහෝසි කළයුතුයි. ඉහලම දඩයක් හා වන්දි මුදලක්ද ගෙවීමට නියම කළයුතුයි. නැතිනම් මේ අයගෙන් විශ්වවිද්‍යාල බේරාගත නොහැක.
අප ගරු අධිකරණයෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටින්නේ මෙම ම්ලේච්ඡයින් 19 දෙනාම සෑහෙන කාලයකටම ඇතුළට දමා සමස්ත සරසවි පද්ධතියටම යහපතක් සලසා අහිංසක දරුවන්ට නිදහසේ තම ඉගෙනීමේ කටයුතු කරදීමට ඉඩකඩ ලබා දෙනමෙන්... අන්තරේ ඉන්න අයට අප සඳහන් කරන්නේ දැන්වත් ඔබලාගේ දෙමාපියන් විසින් බලාපොරොත්තු වන රටට වැඩදායි පුරවැසියන් වීමට තම තමන්ගේ යුතුකම් ඉටුකරන ලෙසය. අපේ බදුමුදල් විනාශ කරමින් අනිකුත් දරුවන්ට බාධා කරමින් කරන සාපරාධී වැඩ නවත්තන්න. කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන්න. දියන්වන්නා ඔයේ ඉන්න රතු හැට්ටකාරයින්ගේ ගැත්තන් නොවී, ගොට්ටන් නොවී...
උපරිම දඬුවම් ලබාදෙන්න.
ශිෂ්‍ය භාවය අහෝසි කිරීමෙන් හා දඩනියම කිරීමෙන් මෙම ප්‍රශ්ණය විසඳිය නොහැක. ඉතාමත් තද නීති ක්‍රියාත්මක කළයුතුය. අඩුම තරමේ වසර 10කට වත් මහ උළු ගෙදර යැවිය යුතුයි.
ලංකාවේ විශ්වවිද්‍යාලවල තියෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අය සියලුම විශ්ව විද්‍යාලයන්ගෙන් අයින් කල යුතුයි. මේ මානසික ආතතියෙන් පෙලෙන කාලකන්නින් ඉන්නකම් අපේ රටේ උසස් අධ්‍යාපනය ලබන අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල්වීම හීනයක් විතරයි. මොනවා වුණත් මේ වගේ දේවල් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්නකොට වුණානම් අයියලා ටිකට අඹ සරණයි.
ලියන්න අවශ්‍ය සියලුම දේවල්, කලින් අදහස් ලියපු පාඨකයන් විසින් ලියා ඇත. විශ්ව විද්‍යාල තුළ, පාසල් තුළ මෙන් සියලුම ආකාරයේ දේශපාලනය තහනම් කළ යුතුයි...
ජපුරේ තත්වයත් දැනට අවුරුදු 5ක පමණ කාලයක සිට මෙහෙමමයි. ජපුරේ උපකුලපති හැසිරෙන්නේ ශිෂ්‍ය සංගමයේ සභාපති වගේ. අන්තරේට පාලනය දීලා තියෙන්නේ. කවුරුවත් කථා කරන්නේ නෑ.
මේ මානසික රෝගීන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර , ජීවිතාන්තය දක්වා කිසිම රජයේ රැකියාවක් නොලැබෙන ලෙස අසාධුලේඛනගත කල යුතුයි. මේ රට , බදු මුදලින් ඉගෙන ගෙන පිස්සු නටන සමාජවිරෝධි අපරාධකරුවන්ගෙන් බේරා ගන්න ලැබෙන්නේ කවදාද ?
ශිෂ්‍යභාවය අහෝසි කල යුතුයි. අධිකරණය මගින්ද උපරිම දඬුවම් දිය යුතුයි.
රවීන්ද්‍ර ඔබේ අදහස් මේ රටේ සමස්ත සාධාරණ මිනිස්සුන්ගේ අදහස් එක්ක ගැළපෙනවා. ඒ ගැන සතුටුයි . මේක 76 (මගේ මතකය නිවැරදිනම් ) රූපා රත්නසීලිගෙන් පටන් ගෙන අද දක්වාම තියෙන ප්‍රශ්නයක්. හැබැයි වෙනස මේ ලඟදි මහාචාර්ය මොහාන් සිල්වා (මා ගරු කරන වෙදදුරෙක් ) කියපු විදියට දැන් තියෙන්නේ නවක වදයක් නෙමේ. "ලිංගික හිංසනයක් ". මේක 200% හරි මොකද මෑතකදී පේරාදෙණියේත් ,දැන් රුහුණෙත් උනේ නවක වදය දීමක්ම නෙමේ. මානසික රෝගීන් රැලකගේ ලිංගික අඩත්තේට්ටම්. මෙයාලට දෙන්න ඕන දඬුවම මේ වගේ ප්‍රසිද්ධ පත්තරයකින් කියන්න බැහැ . අනික තමයි දැන් මේවා පිටුපස්සේ ඉන්නේ ජේ. වී. පී කාරයෝ නෙමේ. යන එන මන් නැති පෙරටුගාමීන් .
යෝජනා කීපයක් ශිෂ්‍යභාවය අහෝසි කිරීම හෝ අවුරුදු කීපයකට තහනම් කිරීම රැකියාවකට යානොහැකි වන පරිදි අසාදුලේඛන ගත කිරීම සහ වැරදිකරුවන්ගේ නම් ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම රැකියාවකට ඉල්ලුම් කිරීමේදි හෝ බඳවා ගැනීමේදී නවකවදය හෝ ඒ හා සමාන සමාජ විරෝධී කටයුත්තකට සහභාගි වීමක් හෝ අනුබලදීමක් සිදු නොකළ බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාගන්න...
අපි මේ බලන් ඉන්නේ මේ සිසුන්ගේ දෙමව්පියන් ලජ්ජා නැතිව තමන්ගේ දරුවන් වෙනුවෙන් පාරට බහීවිද කියලා. තමන්ගේ දරුවන් උගතුන් කරන්න විතරක් කල්පනා කරලා මදි. පවුල් පසුබිමෙන් යහපත් ගුණ ධර්මයක් කුඩා කල සිට ලැබූනා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් කියන්න එපා මෙහෙම වුනේ නරක ආශ්‍රයෙන් කියලා. වයස 18 පසුවුණ ඔබේ දරුවා ඔබ විසින් සමාජ ගත කල තරුණ වැඩිහිටියෙක්. නැතිව හරි නරක නොතේරෙන ළදරු පාසල් බබෙක් නෙවෙයි.
සාමාන්‍ය සමාජයේ මේ විදිහට පුද්ගලයන් කණ්ඩායමක් දුබලයන් කිහිප දෙනෙක් අල්ලාගෙන ඇදුම්ගලවල ලිංගික වද හිංසා කරොත් අනිවාර්යයෙන්ම හිරේ යන්න වෙනවා නේද ? මේ නඩුව ඔප්පු උනොත් මේ අය හිරේ යවන්න , වන්ධි ගෙවල බේරිලා යන්න දෙන්න එපා . මොවුන්ගේ මේ නවක වද , උද්ගෝෂණ සහ පන්තිවර්ජන නිසා සිසුන්ට පළමු වසරේ බොහෝ දුරට ඉගෙනීම් කටයුතු කරන්න ලැබෙන්නේ නැහැ . අපේ බදු සල්ලි නිකම්ම නාස්ති වෙනවා , පුද්ගලික විශ්ව විද්‍යාලවල සල්ලි ගෙවල ඉගෙන ගන්න සිසුන් කිසිම ප්‍රශ්නයක් නැතුව හොදින් ඉගෙන ගන්නවා , ඉගෙන ගෙන රැකියාවල් සොයනකොට පුද්ගලිකව ඉගෙන ගත්ත සිසුන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව රැකියා ලැබෙනවා , රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ට රැකියා දීමට ආයතන ප්‍රධානින් මැලි වෙන්නේ මේ ගොල්ල ගේ විනයක් නැතිකම නිසා , ඊට පස්සේ රැකියා නොමැති උපාධිදාරින්ගේ සංගමය කියල එකක හදාගෙන අපට දස වද දෙමින් පාර හරස් කරගෙන උද්ගෝෂණ කරනවා , ලෝකේ කොහෙවත් නැතුව ඇති මෙහෙම සංගමයක්.