ජයන්ත සමරකෝන්
මෙතෙක් රජයේ නිල නිවාස බාරදී නැති හිටපු අමාත්‍යවරුන් 19 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය කියයි.
මෙම හිටපු අමාත්‍යවරුන්ගේ ධූර කාලය අවසන් වී ඇති බැවින් ඔවුන්ට සිය නිල නිවාස වලින් ඉවත්වන ලෙස කීපවතාවක්ම දැනුම් දී ඇතත් මේ දක්වා ඉවත් නොවීම නිසා මෙම පියවර ගන්නා බවද, එම අමාත්‍යංශයේ උසස් නිලධාරීයෙක් පැවසීය.
වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් 20 දෙනෙකු පමණ මෙම නිල නිවස ඉල්ලා ඇතැයි ද, එහෙත් හිටපු අමාත්‍යවරුන් ඉවත් නොවීම බරපතල ගැටලුවක් වී ඇතැයි ද උසස් නිලධාරියා කීය.
නිල නිවාසවලින් ඉවත් නොවී සිටින ඇතැම් හිටපු අමාත්‍යවරුන් ගෙවල් කුලී පවා ගෙවා ඇතැයි ද අමාත්‍ය වැටුපෙන් 10 % ක් අඩුකර ගෙන මෙම නිල නිවස පවරාදී තිබු බවද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.

COMMENTS
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියා කියමනක් තියෙනවානේ. රට හදන්න යන මොවුන් මෙහෙමනම් මේ රට කවදා ගොඩගත හැකිවේද හිතන්න අමාරුයි. මෙලෙස ජනතා දේපල කොල්ලකමින් සිටින්නන් ජනතාවට හෙලිකල යුතු අතර ඔවුන්ට නැවත නාම යෝජනා නොදීමද පක්ෂ නායකයින්ගේ වගකීමක්වේ
ලංකාවේ ඇමතිලට මොකක්ද මේ වෙන්නේ? ඉස්සර අයත් මෙහෙම වෙන්න ඇති. ඒ කාලේ මොනවද වුනේ කියලා දැන් වෙන දේවල් වලින් හිතාගන්න පුළුවන්.
කථාවනම් මහජන හිතකාමී සුවකාමි. කරන වැඩ? කවටයෝ ? පිහිටි ස්ථානය අනුව පළාතේ මාසික කුලිය මෙන් තුන් ගුණයක් වත් අඩුම තරමේ නැවත අය කරගත යුතුවේ. නම් ප්‍රසිද්ධ පුවත් පත්වල පලකරන්න. රාජ්‍ය දේපල අවභාවිතය ලෙස නඩු පවරන්න.
සමහර විට ඔය නිවාස ඔවුන්ගේ නමින් ඉඩම් දෙපාර්තමේන්තුවේ පත්තිරු වලටත් ඇතුලත් කරගෙන ඔප්පුත් ලියාගෙන ඇති
ජනාධිපති තුමෝ, ඔන්න වැඩ! ඔය ත්‍රිපිටකය සංවර්ධනය කෙරිල්ල වගේ නොවෙයි, ඇයි ඔබතුමාට මේ කියන අයව පන්නල දාන්න බැරි?
අපේ ඡන්දය ගන්නෙ පාර්ලිමේන්තු යන්න කියල මන්ත්‍රී ඩොට් එල්කේ වලට ගොස් බැලුවොත් පෙනේවි කවුද පාර්ලිමෙන්තු යන නොයන මන්ත්‍රීන් කියල. සමහර අය සිටිනවා අවුරුද්දටම දින 10 ට අඩුවෙන් පාර්ලිමේන්තු ගිය අය.මෙහෙම වෙන්නේ ඇයි.මේ නිසා ඉදිරි මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයා හිටපු මන්ත්‍රී කෙනෙක්නම් ඔහු පත්ව සිටිඅවුරුදු 5 තුළ පාර්ලිමේන්තු ගිය දින ගණන සඳහන් කරන ක්‍රමයක් ඇති කරන්න
ඕක ඉතින් නඩු කියලා අහවර කරන්න ඕන දෙයක්ද? පොදු ජනතාව ඔහොම දේවල් කරානම් "පිස්කල් මහත්තය" උසාවියෙන් නිල පත්‍රිකාවක් අරගෙන ගිහින් චුදිතයන් එලියට දමා ගෙදර බඩු මුට්ටු වත්තට ඇදදමා, දොරවහලා, යතුරු කටේ ලාකඩ සීල් එකක් ගහපු කාඩ් එකක් එල්ලලා යනවා! වැඩේ එතැනින්ම ඉවරයි! මා කුඩා අවදියේ අල්ලපු ගෙදරක අසරණ පවුලක් හිටියා, සොච්චම් බදුමුදලක් ගෙවා ගැනීමට බැරුව. දවසක් "පිස්කල් මහත්තය" ඇවිල්ලා එහි තිබුන බඩුමුට්ටු සමග ලිපේ ඉදෙමින් තිබුන බත්හැලිය පවා එලියට දමා, හඬමින් කනිපින්දම් කල ඒ අසරණ පවුල දොට්ට දමා, ඒ කුඩා නිවස සීල් තබා ගියහැටි මට තවම මතකයි! දින 53 හිටපු ඇමැතිවරු 19 දෙනාටත් මේකම කරලා දොට්ට දමන්න බැරි තරමට අපේ රටේ නීති පද්ධතියට කොන්දක් නැද්ද? රටේ නීතිය ලොක්කට එකක්, පොඩ්ඩට තව එකක්......