(සුජිත් හේවාජුලිගේ)

විදේශයන්හි  අධ්‍යාපනය සඳහා හෝ රැකියා සඳහා හෝ  යන යමෙකුට කිසියම් හේතුවක් මත  නිශ්චිතවූ කොරෝනා  මර්දන එන්නතක් අවශ්‍ය වන්නේ නම් ඒ සම්බන්ධයෙන්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

ඒ ආකාරයට   අභියාචනයක්  ඉදිරිපත් කළහොත් ඒ ගැන සලකා බැලීමට සූදානම් බවද  හෙතෙම සඳහන් කළේය.

යම් නිශ්චිත එන්නතක් ලබා ගත යුතු බවට  ඒ ඒ රටවලින්  යම් ලියවිල්ලක්ලබාදී ඇත්නම් ඒවාද  එම  අභියාචනය සමග ඉදිරිපත් කළ යුතු බව හේරත් මහතා කීවේය. කෙසේ නමුත්  ලෝකයේ කිසිම රටක්  එන්නත්  වර්ග  නම්කර ඒවා පමණක්  ලබාගත යුතු බවට  සඳහන් කර නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇති බව හේරත් මහතා වැඩිදුරටත් පැවැසුවේය.

මේ අතර දිවයිනේ විශාල පිරිසක්  යම් යම්  කොරෝනා මර්දන එන්නත් වර්ග පමණක් ලබා ගැනීමට උත්සහ දරන බවක් පෙනෙන්නට ඇතැයිද  මේ හේතුව නිසා  ඔවුනට  එන්නත  ලැබීම තවදුරටත්  ප්‍රමාදවී ඇතැයිද  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙය  සෞඛ්‍යමය වශයෙන් අවදානම් තත්වයක් ලෙස සැලකිය හැකි යැයි  වෛද්‍ය විශේෂඥයෝ සඳහන් කරති.

කොළඹ ප්‍රදේශයේ දහසකට පමණ වැඩි පිරිසක් අනෙකුත් එන්නත් වර්ග ලබා නොගෙන ෆයිසර් එන්නත  පමණක් ලබාගැනීමට  උත්සාහ ගන්නා තත්වයක්  පෙනෙන්නට ඇතැයි  සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ සම්බන්ධයෙන්  කොළඹ  වසංගත රෝග විද්‍යාඥ  වෛද්‍ය දිනූකා ගුරුගේ  මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ  කොළඹ නගරයේ  එවැනි ආකල්පවලින් පසුවන   විශාල පිරිසක් සිටින බවයි.

මෙරට භාවිතා කෙරෙන  සියලුම එන්නත් වර්ග  එකම ප්‍රතිඵල සහිත ගුණාත්මක ඒවා හෙයින්  ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයෙන්  කුමන හෝ කොරෝනා  මර්දන එන්නතක් ලබා ගන්නැයි  ජනතාවගෙන්  විශේෂ ඉල්ලීමක් කරන බවද  ඇය සඳහන් කළාය.