(විනීතා එම් ගමගේ)
නිකවැරටිය, කොටවෙහෙර දී කාන්තාවන් දෙදෙනකුගේ අමානුෂික පහර කෑමට ලක්වූ 13 හැවිරිදි දැරිය පවුලේ ඥාතින්ට හෝ ළමානිවාසයකට බාර නොදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.
මේ වනතුරුත් ඇයගේ පීඩාකාරි මානසිකත්වය සම්පූර්ණයෙන් ඉවත්ව නැති බැවින් ඇය තවදුරටත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක ගේ සොයා බැලීම් යටතේ දින කිහිපයක් තබා ගැනීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය මතය වූ බැවින් මෙසේ වෛද්‍ය බාරයේ රෝහලක තබාගැනීමට තීරණය කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා අද (9) පැවසීය.
ළමා ආරක්ෂක අධිකාරිය මගින් නිකවැරටිය රෝහලට ඇතුළත් කළ ඇය පසුව කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබු අතර එහි දී අධිකරණ වෛද්‍ය විශේෂඥ ඉලංගරත්න බණ්ඩාර මහතා ප‍්‍රධාන වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ප‍්‍රගති නිරික්ෂණයකට ලක් කරන ලදී.
කිසිදු ඥාතියකුට හෝ ළමා නිවාසයකට භාර නොදී තව දුරටත් වෛද්‍ය නිරික්ෂණය යටතේ ඇය තැබීමට තීරණය කරන ලද්දේ එහි දී යැයි ද විදානපතිරණ මහතා කියා සිටියේය.
මෙම 13 හැවිරිදි දැරිය ඇගේ පියාගේ දෙවැනි විවාහයේ බිරිඳ හා ග‍්‍රාමනිලධාරියකගේ කෲර පහර දීමකට ලක්ව ඉකුත් 31 වැනිදා රෝහල් ගත කරන ලද අතර එම පහර දීමෙන් ඇය ශාරිරිකව හා මානසිකව බරපතල පීඩාවකට ලක්ව තිබිණි.
COMMENTS
කරුණා කරලා මේ දැරියව ඇගේ මවට භාර දෙන්න. පරිවාස නිලධාරියා කර තිබෙන්නේ දැරියටත් මවටත් බලවත් අසාධාරණයක්. කවුරුවත් ඒ ගැන කතාවක් නැහැ. දෙවැනි විවාහයක් කර ගත්ත පියාට දියණිය භාර දුන්නේ කොහොමද වදපු මව ට නොදී ? කාන්තා අයිතීන් වෙනුවෙන් නටන එන් ජී ඔ නෝනලට මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ ??
දෙමව්පියන්ගේ රැකවරණය දරුවකුට නොලැබෙන හෝ නුසුදුසු අවස්ථාවන් වලදී, එවැනි දරුවන් පරිවාස භාරයට පත්කර ළමා නිවාසයක රඳවනු ලබයි. මෙවැනි දරුවන් ළමා නිවාසවල රැඳවිමද ඉතාම භයානකයි..! ළමා නිවාසවල තිබෙන අනාරක්ෂිත බව ගැන සියලුම නිලධාරින් නොදන්නවා නොවේ. එහෙත් බොහෝ අසරණ දරුවන් මෙවැනි ළමා නිවාසවලට බාරදෙයි. මේ දැරිවිය ළමා නිවාසයකට බාර නොකිරීමට ගත් තීරණය ඉතා අගය කළ යුතුයි. අපේ රටේ තිබෙන යල් පැන ගිය පරිවාස නිති-රීති දැඩිව සංශෝධන විය යුුතුයි. එමෙන්ම පරිවාස ආයතනවල සිටින නිලධාරින්ගේ ආකල්ප, දැනුම සහ මානුෂික ගුණාංග දියුණු කළ යුතුයි.
ඇයගේ අනාගතයද සුරැකිව බලා ගනීවියැයි ළමා ආරක්ෂක අධිකාරියෙන් බලාපොරොත්තු වෙමු. පව් අහිංසකයා...