(යොහාන් භාසුර)

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතනවල වියදම් අඩු කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම්දී තිබියදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ලක්‍ෂ 20 කට අධික මුදලක් වැයකරමින් ලබන සති අන්තයේ දෙදින නේවාසික නායකත්ව පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට සූදානම් වෙයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ මට්ටමේ සහ අංශ භාර ප්‍රධානීන් ඇතුළු 100 දෙනෙක් පමණ සහභාගි වීමට නියමිත මෙම පුහුණු වැඩමුළුව අගලවත්ත ප්‍රදේශයේ නමගිය නිවාඩු නිකේතනයක ලබන 29 සහ 30 දෙදින පැපැවත්වීමට නියමිතය.

එම දෙපාර්තමේන්තුවේ බස් රථය සහ වෑන් රථ 5 ක් යොදාගනිමින් අගලවත්ත ප්‍රදේශයේ අදාල හෝටලය වෙත නිලධාරීන් ප්‍රවාහන කිරීමට කටයුතු යොදා ඇති අතර එම සියලුම නිලධාරීන්ට පදිංචි ප්‍රදේශයේ සිට ප්‍රවාහන පහසුකම් සපයයි.

කණ්ඩායම් මෙහෙයවීමේ හැකියාව ප්‍රවර්ධන කිරීමේ ක්‍රියාකාරකම් වැඩමුළුවට ඇතුළත්ව ඇති බැවින් සහභාගි වන සියලු දෙනා බොටම් කලිසමක්, කැන්වස් සපත්තු ජෝඩුවක්, ටීෂර්ට් එකක්, තොප්පියක් සහ පිහිනුම් ඇඳුම් කට්ටලයක් රැගෙන එන ලෙස ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම වැඩමුළුවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ද සහභාගි වීමට නියමිතය.

මෙම වැඩමුළුවට සුදුසුකම් ලබා සිටින නිලධාරීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඉදිරි වසර දෙක හෝ තුන තුළ විශ්‍රාම ලබන නිලධරීන් බවත් වැඩමුළුවට සහභාගි වන බොහෝ නිලධාරීන්ට මාසිකව රුපියල් 75,000 ක ප්‍රවාහන දීමනාවක් ලබන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නායකත්ව පුහුණුවක් ලබාදෙන්නේ නම් අවම වශයෙන් ඉදිරි වසර 10 ක පමණ කාලයක් සේවය කළ හැකි නිලධාරීන් එයට සහභාගි කළ යුතු බවත් කොමසාරිස්වරු සහ ඊට ඉහළ නිලධාරීන්ට නායකත්ව පුහුණුවක් ලබාදීම නිෂ්ඵල ක්‍රියාවත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.