(සුජිත් හේවාජුලිගේ )

දෙවෙනි මාත්‍රාව සඳහා හිඟ පාඩුවී ඇති   ඇස්ට්‍රාසෙනිකා එන්නත්  මාත්‍රා  තොගය  සොයාගෙන අවසන් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

මාත්‍රා ලක්ෂ 14කින් යුතු  එම එන්නත් තොගය මේ මස අවසන් වීමට පෙර  මෙරටට ලැබෙනු ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

මෙරට  ජනතාවට ලබාදීමට  හිඟ පාඩුවී ඇති ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ප්‍රමාණය  ලක්ෂ හයකට ආසන්නය .

මේ අතර ෆයිසර්  එන්නතේ මාත්‍රා  90,000ක් අනිද්දා (26)සඳුදා  මෙරටට නියමිතව ඇති බවත් එම එන්නත්  පුත්තලම සහ  මන්නාරම ප්‍රදේශවල  ජනතාවට දෙවෙනි මාත්‍රාව විදියට  ලබාදීමට සැලසුම් කර ඇති බවත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය .

මෙයට අමතරව  සයිනොපාම් එන්නතේ  මාත්‍රා ලක්ෂ 16ක් ප්‍රදානයක් ලෙස අනිද්දා (26)සදුදා මෙරටට ලැබීමට නියමිත බවද
ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය .

මේ අතර  විදේශ රැකියා සඳහා යන පුද්ගලයන්ට   ඒ ඒ රටවල් එක එක එන්නත්  නිර්දේශ කරන හෙයින්  මේ සම්බන්ධයෙන්  ඉදිරියේදී  නිශ්චිත වැඩපිළිවෙළක්  හඳුන්වා දෙන බව හෙතෙම වැඩිදුරටත් කීවේය .

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ  පළමු මාත්‍රාව පමණක් ලබාගෙන ඇති මෙරට පුද්ගලයන්  සංඛ්‍යාව නවලක්ෂ  විසි පන් දහස් දෙසිය හතළිස් දෙකකි.

එම එන්නතේ  පළමු මාත්‍රාව ලබා දීම ඉකුත් ජනවාරි මාසයේදී  ආරම්භ කෙරුණු අතර අප්‍රේල්  මාසයේදී  ඒ කටයුතු අවසන් කෙරිණ .

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ  දෙවෙනි මාත්‍රාව  මේ දක්වා ලබාදී ඇත්තේ තුන්ලක්ෂ  අසූ පන් දහස් අටසිය අසූ පහකට පමණි