(දිලීප් ජයසේකර)

මාතර සිට මත්තල දක්වා ඉදිකෙරෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ පාලන් හා බෝක්කු ඉදිකිරීමට ගෙනවිත් ඉතිරි වූ කොන්ක්‍රීට් මත්තල ප්‍රදේශයේ කැලෑවක් තුළට දැමීමෙන් මහා පරිමාණ පරිසර හානියක් සිදු වන බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ අන්දරවැව සිට  මත්තල දක්වා වූ අදියර හතර කොටසෙහි ඉදිකිරිම් සිදුකරන චයිනා හාබර් සමාගමේ පිරිස් මෙලෙස හොර රහසේ කොන්ක්‍රිට් මැෂින් වල ඉතිරි වන කොන්ක්‍රිට් මෙලෙස කැළැව තුළට බැහැර කරන බවයි.

කිසිඳු ක්‍රමවේදයකින් තොරව මත්තල ප්‍රධාන මන්සන්දියේ සිට කිලෝ මීටර් 04 ක් පමණ දුරට වන්නට  කොන්ක්‍රීට් කැලෑව තුළට බැහැර කිරීමෙන් මේ වන විට එම ප්‍රදේශය පුරා දැඩි පාරසරික හානියක් සිදු වී තිබේ.

කැලෑව තුළට කොන්ක්‍රීට් බැහර කිරීමෙන් වන සතුන්ටද දැඩි බලබැමක් ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයේ අදියර හතර කොටසෙහි ඉදිකිරිම් සිදුකරන චයිනා හාබර් කොන්ත්‍රාත් සමාගමේ ප්‍රධාන නිලධාරියා වන ෂාවෝ මහතාගෙන් විමසීමක් සිදු කළද ඔහු ඊට පිළිතුරු ලබා නොදිණි.

කෙසේ නමුත් ජනතාව පවසන්නේ අධිවේගි මාර්ගය ඉදිකරන චීන කොන්ත්‍රාත් සමාගම අධිවේගයේ වැඩ අවසන් වීමෙන් පසු මේ රටින් පිටව යන බවත් ඉන් පසු මේ අක්‍රමවත් ක්‍රියා නිසා පීඩාවට පත්වන්නේ ප්‍රදේශයේ ජනතාව බවත්ය.

මේ නිසා වගකිවයුතු පාර්ශ්ව වහා මේ සම්බන්ධයෙන් සොයා බලා විශාල පරිසර හානියක් සිදු කරමින් මහ කැළයට මුදාහැර ඇති කොන්ක්‍රිට් තට්ටු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.