ජයන්ත සමරකෝන්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාත්‍රී  කාලයේ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වන වාහනවල ප්‍රධාන විදුලි ලාම්පු එළිය හේතුවෙන් රියදුරන්ට සිදුවන අපහසුතා මෙන්ම සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා එම මාර්ගය මැද කොටසේ දීප්ති  ප්‍රතිරෝධ පුවරු සවිකිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

එහි නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රථම වරට ගැලනිගම හා දොඩන්ගොඩ අතර කිලෝමීටර් 24 හා කිලෝමීටර් 26 අතර කොටසේ මෙම පුවරු මීටර් 1 මීටර් 1.2 අතර දුරකින් ඉදිකර ඇතැයි එහි නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂක සමන් ඕපනායක මහතා පැවසීය.

ෆයිබර් ග්ලාස් වලින් නිමවන ලද බට පුවරු තද කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇතැයි ද ඒ මහතා කීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මාතර දක්වා කිලෝමීටර් 126 ක් තුළ මෙම පුවරු ඉදිකිරිමට නියමිතය.

මෙම පුවරුවක දිග සෙන්ටි මීටර 90 ක් ද පළල සෙන්ටි මීටර 28 ක් ද අතර වන බවද එම අධිකාරිය පවසයි.