(රසාංජලී වාසල)

රතු පැහැති ටී-ෂර්ටයකින් සැරසුණු, කහ පැහැති සුරතල් වලස් පැටවා නොහඳුනන්නේ කවුරුන්ද? ඔහු නමින් "විනී ද පූ" ය.

කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා කා අතරත් ජනප්‍රිය වූ සහ දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම වලස් සුරතල උපත ලබා ඇත්තේ මීට සියවසකට පමණ පෙර, එනම් 1926 වර්ෂයේ කතන්දර පොතක චරිතයක් ලෙසිනි.

සුවිශේෂී මෙන්ම රසවත්ම කරුණ නම්, මෙකී කතාන්දර පොතේ පූ සහ ඔහුගේ සගයන් ගේ චරිත නිර්මාණය කර ඇත්තේ සැබෑ ලෝකයේ චරිත හා සිදුවීම් පදනම් කරගනිමින් වීමය.

මෙම චරිතයේ නිර්මාතෘවරයා වන්නේ පළමු ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළ, ලන්ඩන් නුවර විසූ ප්‍රකට නවකතාකරුවෙකු හා කවියෙකු වූ ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න්ය.

ඔහු තම කුඩා පුත්‍රයා වූ ක්‍රිස්ටෝෆර් රෝබින්ගේ පළමු උපන්දිනය වෙනුවෙන් තෑගි දුන් සහ ඔහු වඩාත් ප්‍රිය කළ කුඩා සෙල්ලම් වලස් පැටවා, මෙම අපූරු චරිතය බිහි කිරීමට මුල් විය.

විනී ද පූ යන නාමයේ "විනී" යන කොටස එක්වන්නේ ලන්ඩන් සත්ව උද්‍යානයේ සිටි කැනේඩියා කළු වලසකුගෙනි.

1914 දී කැනේඩියා හමුදා නිලධාරියකු වූ හැරී කෝල්බර්න් විසින් මාස හතක් වයසැති ගැහැණු වලස් පැටවෙකු මිලදී ගන්නා ලදී. දඩයම්කරුවන් විසින් එම වලස් පැටවාගේ මව මරා දමා තිබූ අතර, හැරී විසින් ඇයව "විනී" ලෙස නම් කරන ලදී.

පසුව හැරී විසින් විනීව ලන්ඩන් සත්ව උද්‍යානයට භාර දුන් අතර, කාලයත් සමග ඇය එතැනට පැමිණෙන සැමගේ ආදරය දිනා ගැනීමට සමත් වූවාය.

ක්‍රිස්ටෝපර් රොබින් ද සත්ව උද්‍යානය නැරඹීමට ගිය අවස්ථාවක විනී කෙරෙහි ඇති වූ ලැදියාව නිසා ස්වකීය සෙල්ලම් වලසාගේ නම ද "විනී" ලෙස වෙනස් කළේය. එමෙන්ම "පූ" යන නාමය ඔහු යොදාගත්තේ හංසයකුගෙනි.

1925 වසරේදී "ලන්ඩන් ඊව්නින්ග් නිව්ස්" පුවත්පතේ පළ වූ "The Wrong Sort of Bees" නම් කතාවේ ප්‍රථම වතාවට පූ ගැන සදහන් කර තිබූ අතර 1926 වසරේදී "විනී ද පූ" කතා පොතක් ලෙස එළිදැක්විණි.1932 වසරේදී එහි වර්ණ මුද්‍රණයක් ද නිකුත් කෙරිණි. මෙම කෘතිය එළිදැක්වීමත් සමඟම අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර, එහි ලතින් පරිවර්තනය "නිව්යෝර්ක් ටයිම්ස්" හොඳම අලෙවියක් සහිත පොත් ලැයිස්තුවට ඇතුළත් වූ ප්‍රථම විදේශීය භාෂා කෘතිය බවට ද පත් විය. 

1961 වසරේදී මෙම කතාව ඩිස්නි සමාගම විසින් ස්වකීය නිර්මාණ සඳහා යොදාගත් අතර, ඒ හරහා විනී ද පූ චරිතය ලොව පුරා රසිකයන් වෙත වඩාත් සමීප විය. ඩිස්නි සමාගම 1966 වසරේදී ප්‍රථම වරට විනී ද පූ චරිතය සිනමාවට හඳුන්වා දුන් අතර, "Welcome to the Pooh Corner" නම් වැඩසටහන හරහා ප්‍රථම වරට රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ද ප්‍රේක්ෂකයන් අතරට රැගෙන ගියේය. කාගේත් ආදරය දිනාගත් මෙම චරිත සඳහා පාදක වූ පූ, කැන්ගා, ටිගර්, පිග්ලට් සහ ඊයෝර් යන තමන් සතුව තිබූ සෙල්ලම් බඩු 1987 වසරේදී ක්‍රිස්ටෝෆර් රෝබින් විසින් නිව්යෝර්ක් මහජන පුස්තකාලයට පරිත්‍යාග කරන ලදී, ඒවා අදටත් එහි සුරක්ෂිතව තබා ඇත.

මෑත කාලයේදී විනී ද පූ පිළිබඳ වැඩි කතාබහක් ඇති වූයේ 2018 වසරේදී එළිදැක්වුණු "Christopher Robin" චිත්‍රපටය නිසාවෙනි.

මෙලෙස වසර ගණනාවක් පුරාවට බාල, මහලු සැමගේ සිත් දිනාගනිමින් ලොව පුරා අසංඛ්‍යාත දරුවන්ගේ ආදරය දිනාගත් විනී ද පූ, ඉදිරි අනාගතයේදීත් රසික හදවත් තුළ නොමැකෙන මතකයක් ලෙස  රැඳෙනු නොඅනුමානය.