(සුජිත් හේවාජුලිගේ)

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ්  ආසාදනයවූ "තෝර්" නැමැති සිංහයාගේ ධේනුව වන ‘‘ෂීනා‘‘ සිංහ ධේනුවට  කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන බව  වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය .

මේ තත්ත්වය යටතේ  එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට  පියවර ගත් බව  රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය .

සිංහ ධේනුවට  කොවිඩ්  ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන්නේ  පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම  වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදීය .

සිංහ ධේනුවට කොවිඩ්  ආසාදනයවී ඇතත්  ඌගේ තත්ත්වය  අයහපත් නැතැයිද  සාමාන්‍ය පරිදි  ආහාර අනුභව කරමින්  කාලය  ගත කරන්නේ යැයිද  දෙහිවල සත්වෝද්‍යානයේ  ප්‍රධානීහු පවසති .

කොවිඩ්  ආසාදනය වූ සිංහයාගේ තත්ත්වය ද  දැන් සාමාන්‍ය අතට හැරී ඇතැයි  පවසන  එම ප්‍රධානීහු සිංහයන් රැකබලා ගත්  සේවකයන්ට  කොවිඩ්  වයිරසය ආසාදනය වී ඇතැයි  මෙතෙක් තහවුරු වී නොමැති බවද  අනාවරණය කළහ .

දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට වසා දමා තිබෙන අතර  ඊට පිටතින් කිසිවකුත් ඇතුලුවීමද තහනම් කර ඇත  .