(පාලිත ආරියවංශ)

වැලිමඩ - නුවරඑළිය මාර්ගයේ බැලුම්ගල මාරක වංගුවේ දී තට්ටු ලොරියක් මාර්ගය මැද පෙරළී අනතුරට ලක්වීමෙන්  එහි ගමන් කළ දෙදෙනෙකු මියගොස් සිව්දෙනෙක් තුවා ලබා ඇතැයි  වැලිමඩ පොලිසිය  පවසයි.

තුවාලකරුවන් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහරෝහලට යවා තිබේ.

මාර්ගවල ආරක්ෂක වැට සදහා උපයෝගී කරගන්නා යකඩ බාර් තොගයක්  මෙම  තට්ටු ලොරිය ගම්පොල සිට  ලුනුගම්වෙහෙරට  ප්‍රවාහනය කරමින් තිබූ බව ද පොලිසිය සදහන් කළේය.

පිටුපස තට්ටුවේ ගමන් කළ සිව්දෙනාම ලොරියෙන් ඉවතට  විසිවී ඇති බවත් ඉන්  දෙදෙනෙක් ලොරියටම යටවී මෙන් සිදුවූ බරපතල තුවාලවලින් මියගොස් ඇති අතර අනෙක් දෙදෙනාගේ ද තත්වය බරපතල බවත් පොලිසිය පවසයි.

ලොරියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා කානුව  දෙසට හැරවූ අවස්ථාවේ  මාර්ගය මැදම පෙරලුණු බව  රියදුරා  පවසා තිබේ.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 සහ 19 වයස් කාණ්ඩවලට අයත් තරුණයන් දෙදෙනෙකි.