(රංජිත් රාජපක්ෂ)
හැටන් දිඹුල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශීය සභාව කිසිඳු පොදු පහසුකමත්වත් ලබා නොදී අයතා ලෙස මුදල් අය කිරීම හේතුවෙන් සංචාරකයන් දැඩි අසීරුතාවයට පත්වී ඇත.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිනකට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් කරන අතර එම සෑම සංචාරකයෙකුම නැරඹුම් මධ්‍යස්ථානයේ සිට ඩෙවොන් දිය ඇල්ල නරඹා එහි ඡායාරුප ගැනීම සිදු කරනු ලබයි.
එම මර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද තම වෙහෙස නිවා ගැනීමට නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අසල රථ වාහන ගාල්කර විවේක ගැනීමක්ද සිදු කරනු ලබයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපනය කරන ලද කොටගල ප්‍රාදේශීය සභාව මගින් පුවත් පතක දැන්වීමක් පල කරමින් ඩෙවොන් දිය ඇල්ලේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට ටෙන්ඩර්පත් කැඳවා එම ටෙන්ඩරය තලවකැලේ ප්‍රදේශයේ තරුණයෙකුට වාර්ෂික බලපත්‍රයක් මත රුපියල් ලක්ෂ එක හමාරකට එය ලබා දී ඇත.
ටෙන්ඩරය ලබාගත් තරුණයා පළමු පැය සඳහා බස් රථයකින් රුපියල් 100 ක්ද ,වෑන් රථයකින් රුපියල් 50 ක්ද , ත්‍රීරෝද රථයකින් රුපියල් 30 ක්ද යතුරු පැදියකින් රුපියල් 25 ක් බැගින් අය කරන අතර පැයකට වඩා නැරඹුම් මධ්‍යස්ථානය අසල සහ ප්‍රධන මාර්ගය අබියස ගාල් කර තබන සෑම වාහනයකින්ම එම මුදල දෙගුණ කර අය කරනු ලබයි.
එම නැරඹුම් මධ්‍යස්ථානය අසල සහ ප්‍රධාන මාර්ගය අසල සුළු වේලාවට පවා ගාල් කරන වාහන වලින් ටෙන්ඩර්පත් ලබාගත් අය විසින් මුදල් අය කරනු ලබයි.
ඇතැම් අවස්ථාවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන අය විසින් බස් රථයට අයකරන මුදල වෑන් රථ වලටද අය කරන බව එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් කියා සිටියි.කිසිදු පොදු පහසුකමක්වත් ලබානොදී කොටගල ප්‍රාදේශීය සභාව මගින් ප්‍රධාන මාර්ගයේ සිට ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට මෙසේ මුදල් අය කිරීම අසාධාරණ බව එම මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන් මෙන්ම රියදුරන්ද වැඩිදුරටත් පවසයි.




COMMENTS
අපේ රටේ ඇති සියලුම වටිනා මෙන්ම දැකුම්කළු ස්ථාන නැරඹීම සඳහා ආරක්ෂා සහිතව ගමන් කිරීමට සුදුසු මාර්ග, වාහන අංගන සහ පිරිසිදු වැසිකිලි ආදී පහසුකම් සකස් කරදී ඒ සඳහා සාධාරණ මුදලක් අයකිරීමේ වරදක් නැත. කිසි පහසුකමක් සලසානොදී මුදල් ගරා ගැනීම නම් අනුමත කල හැක්කක් නොවේ.
ප්‍රාදේශීය සභාව ඔහොම නම් කොහොමද පළාත් සභාවට බලතල දුන්නම...?
නීතිමය තත්ත්වය සලකා බලමු..
ලංකාවේ වැසිකිලි අමාත්‍යංශයක් පිහිටුවල හොඳ ඇමති වරයෙකුට වැසිකිලි අමාත්‍ය ධුරය පවරලා රටේ වැසිකිලි පහසුකම් හරියට ස්ථාපනය කරන්න කියන්න. සංචාරකයෝ නැව් ගණන් එයි.
ඔය වැඩේ මාතරත් වෙන්න ගීයා. සති පොලට එළවලු ගන්න ඇවිත් බොහොම අමාරුවෙන් තැනක් හොයාගෙන වාහනේ නතර කලහම ඔන්න මිනිහෙක් ටිකට් පොතක් උස්සන් ඇවිත් රුපියල් 50 ක් ඉල්ලනවා. ඒක ඉල්ලන්නෙත් මහා දාමරික කප්පන්කාරයෙක් වගේ මිනිහෙක් දම්මලා. පස්සේ මිනිස්සු වෙළෙන්දෝ මේකට විරුද්ධව ඇද්ද නිසා නතර වුණා. මෙහෙමයි ඕක වෙන්නේ. ප්‍රාදේශීය සභාවේ සභාපතිට ඡන්දෙදි උදවු කරපු අයට හම්බකර ගන්නත් තමන්ට ගතමනාවක් හොයා ගන්නත් එක්කයි ඔය වැඩේ ටෙන්ඩර් දාලා දෙන්නේ. ඉස්සර හිටපු රථවාහන පාලිකාවන් දැන් නැහැ. කාටද ඕව කියන්නේ. රටේ නායකයෝ ඕව දන්නේ නැහැ.
හැම තැනම කරන්නේ විදේශිකයින් ගසා කෑම.
150,000/365 = 411/-
සම්පුර්ණ ඇත්ත. ගිය සිකුරාදා ගමනක් යන අතර තේකොළ පැකට් එකක් ගන්න කාර් එක නවත්තල ටී සෙන්ටර් එකට ගියා. විනාඩි 5ක් යන්න පෙර ඇවිත් කාර් එකට නගිද්දී රු.50/- ටිකට් එකක් ගන්න වුණා. මම දියඇල්ල බැලුවෙත් නැ. මම ඇහුවා වැසිකිලියක් තියේද කියල. නැ කිව්වා. මොනවද දීලා තියෙන පහසුකම් ඇහුව මුකුත් නැතිලු. සල්ලි ගන්නවා විතරයි. මේක ලංකාවේ බොහෝ තැන්වල කරනවා. පහසුකම් නැ ටිකට් දෙනවා.
රම්බොඩ ඇල්ල බලන්න ප්‍රාදේශීය සභාවෙන් රු.20 ක් ගන්නවා. එත් කිසිම පහසුකමක් දීලා නැහැ. දැන් අපේ රටේ තේ කොළ හදනවා, එත් තේ කර්මාන්තශාලාවක් බලන්න අපට දෙන්නේ නැ. එතන ටී සෙන්ටර් එකෙන් ප්ලේන් ටී එකක් රු.50 අපේ රටේ අපිව සුරගෙන කනවා නේද?
මේවා තමයි ෆෙඩරල් ලක්ෂණ කියන්නේ. උතුරේ නමෙන් මේ දකුණත් දැන් ෆෙඩරල්
මිනිසුන් සොබාදහමෙ අසිරිය විදින්නෙ හිතට නිදහසක් සුවයක් විදින්න. ඒකටත් ටිකට් පොතක් උස්සගෙන එනකොට හරිම සුවයක් දැනෙනව ඇත්තෙ.
රට පුරා සිදුකරන මේ ටිකට් පොත් ක්‍රමයට මුදල් ගසා කෑම නීතියට එකඟ නැහැ කියලයි මම හිතන්නේ. ඒක ජනතාවට කරන හිරිහැරයක්. මේ අය කිසිම පහසුකමක් සලසන්නේ නැහැ. අනික මේක නීතිය වැරදියට යොදාගෙන කරන කප්පම් ගැනීමක් වගේ. ඒ නිසා ඊට එරෙහිව මුළු රටේම ජනතාව දැනුවත් වෙලා සාමුහිකව පොදු ප්‍රසිද්ධ තීරණයකට එන්න ඕනි ඕවට සල්ලි දෙන්න බැහැ කියන්න. මොකෝ එතකොට උදුරා ගන්නැය.
සීගිරියට වෙලා තියෙන්නෙත් ඕකම තමයි.
ඇත්තටම අපේ රටේ ස්වභාවික සම්පත් නරඹන්න අපිට හැකිනේ මොකක්ද මේ කරන අපරාධය
මෙතන බදුකරුට බැනලා වැඩක් නෑ. ඔහු ටිකට් නිකුත් කරන්නේ අවසර ඇතිව. ඒකත් වාහන ගාල් කිරීමකට මිස දිය ඇල්ලක් බැලීමකට නොවෙයි. බස් එකක 50ක් ආවත්, වෑන් එකක එක් කෙනෙක් ආවත් දෙන්නේ වාහනයකට එක ටිකට් එකක් නම් වැරදියි කියන්න බෑ. නමුත් ප්‍රාදේශීය සභාව පොදු පහසුකම් දීම කළ යුත්තක්.
පහසුකම් නොදී මුදල් අය කරනවා නම් කළ යුත්තේ, මුදල් නොදී සිටීම හෝ කප්පම්කරුට තඩිබා එලවා දැමීමයි.