(සුජිත් හේවාජුලිගේ)

ඩෙල්ටා සැර කොරෝනා වයිරස සෙවීමේ පරීක්ෂණ අද (12) නැවතත් ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් කොරෝනා රෝගීන්ගේ ජෛව පටල සාම්පල 96ක් යොදාගෙන මෙම පරීක්ෂණ ආරම්භ කළ බවද ඔහු සඳහන් කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම සාම්පල අහඹු ලෙස ලබාගෙන ඇතැයි දැනගන්නට ඇත.

තම අධ්‍යයන අංශය අද ඇරඹූ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල තව සතියකින් පමණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදීමට බලාපොරොත්තු වන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 20 කට වැඩි සංඛ්‍යාවක් මේවනවිට හමුවී ඇති අතර ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ අය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඉන් බහුතරයක් මේ වනවිට සුවය ලබා සිටින බව දැනගන්නට ඇත.