
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා අද(16) ඉවත් වූයේය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය ගොනු කළ එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවූ අතර එහිදී සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.
ඒ අනුව මෙම පැමිණිල්ල මින් ඉදිරියට විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කරන බවද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝබර් මස 20 වැනිදා කැඳවීමට දින නියම කෙරිණි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
ඉකුත් වසරේ අපවත් වූ මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතුවලට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර තිබේ.
පැමිණිල්ල අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින මුලතිව් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව තම සේවාදායිකාව සහනයක් අපේක්ෂා නොකරන බැවින් ඔවුන් මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව දන්වා සිටියේය.
ඒ අනුව මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු විභාගයෙන් මුදා හැරීමට ද අභියාචනාධිකරණය තීරණය කළේය.
COMMENTS
ලංකාවේ නීතිය දැන් රබර් වගේ
පොලිස් නිලධාරීන් මෙම පැමිණිල්ලෙන් ඉවත් කිරීමෙන් පේනවා මෙම නඩුව පවරා තිබෙන්නේ මොන යටි අරමුණකින්ද කියන එක.
උසාවිවල වගකියයුත්තන් අස්වෙලා ගියාම හෝ නිවාඩු ගියාම උසාවිවල රාජකාරි කටයුතු අඩපන විය යුතුද.?
අභියාචනාධිකරණය මේ නඩුව පටන් ගන්නත් ඉස්සෙල්ල පක්ෂග්‍රාහී වෙලා තියෙනවා. තුන් දෙනෙක්ට විරුද්ධව පැමිණිල්ලක් දාල නඩුව අහන්න යනකොට පැමිණිලිකාරයා, හිටිහැටියේ දෙන්නෙක් නිදහස් කරන්න කියනවා. උසාවිය කිසි කතාවක් නැතුව ඔවුන්ව නිදහස් කරනවා. පැහැදිලිවම මේ නඩුව ද්වේශ සහගතව දාපු නඩුවක්. අනිත් එක මේකෙන්ම කියන්න පුළුවන් නඩු තීන්දුව මොකක්ද කියලා. හාමුදුරුවන්ව වැරදිකාරයා කරන්න වේලාසනම තීරණය කරලා තියෙනව. ඒ හින්ද පොලිස් නිලධාරීන් දෙන්නව හේතුවක් නැතුව පැමිණිල්ල විසින්ම නිදහස් කර ගන්නවා. එතනම හාමුදුරුවන්ට අගතියක් වෙලා තියෙනවා.
ගලගොඩ අත්තේ හාමුදුරුවෝත් අනිත් හාමුදුරුවන්ට වඩා ටිකක් සිංහල, බුද්ධාගම පැත්තට වැඩියි. එහෙම අය හිටිය නිසා තමයි අදටත් මේ විදිහට මේවා ආරක්ෂා වෙලා තියෙන්නේ. පේනවනේ යන ගේම්, සෝම හාමුදුරුවන්ට වුණු දේමයි අනිත් අයටත් වෙන්නේ.
අපේ නායකතුමා නඩු වලදී දාපු සෙල්ලම් ආයෙත් පටන් අරගෙන වගේ. ඔහොම යන්.