(ඩයනා උදයංගනී)

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් 5,75,520 ක් සදහා මේ වන විටත් රුපියල් 2,000 දීමනාව ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

පළමු අදියර සඳහා මෙම දීමනාව ලබාදීම ඉකුත් 23 වැනිදා සිට සිදුකෙරිණි.

නිරෝධාන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් 20,38,530 ක් මෙම දීමනාව ලබාදීමට තෝරාගෙන ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 3,76,531ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 3,45,847ක්, කළුතර දිස්ත්‍රික්කයේ 55,425ක්, මහනුවර දිස්ත්‍රික්කයේ 1,37,475 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 1,07,677 ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 1,07,291ක් , ගාල්ල දිස්ත්‍රික්කයේ 3,82,69ක් , හම්බන්තොට දිස්ත්‍රික්කයේ 66,476 ක් මෙම දීමනාව ලබාදීමට තෝරාගෙන ඇත.

මෙම දීමනාව ලබාදීම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ හරහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවේ.