
(ඩයනා උදයංගනී)
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් 1000 ක් ඇති කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙහි පළමු අදියර යටතේ දැනට කිසිඳු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123 ක එක් පළාත් සභා පාසල බැගින් තෝරාගෙන ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
දෙවන අදියර යටතේ තවත් පාසල් 673 ක් තෝරාගෙන සංවර්ධනය කිරීමටත්, තෙවන අදියර යටතේ දැනට පවතින ජාතික පාසල් 373 තවදුරටත් සංවර්ධනය කිරීමටත් නියමිත බවද ඇමතිවරයා කීවේය.
මීට අමතරව ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ගම්මන්පිල මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවිය හැකි තර්ජන ආදිය සම්බන්ධයෙන් පර්‍යේෂණ කරමින් අධ්‍යයනය කිරීම මෙහි අරමුණ බවද ඇමතිවරයා කීවේය.
COMMENTS
ලංකාවේ හැම පාසලක්ම ජාතික පාසල් කරන්න. එතකොට ගැටලුවක් නැහැ. එතකොටවත් ළඟම පාසල, හොඳම පාසල කියන කථාව වෙනස් කරලා, හොඳම පාසල ළඟම පාසල කියලා පිළිගනීවි. පාසල් දහසේ ව්‍යාපෘතියත් සාර්ථක වේවි. ගැටලුවක් නැහැනේ.
වසර 5 කට පසු කවුරුහරි ගම්මන්පිලා ඇමතිවරයාගෙන් ජාතික පාසල් බවට පරිවර්තනය කළ පාසල් කීයක්ද? කියලා අහන්න අමතක කරන්න එපා යාලුවනේ මතක තියාගන්න.
මෙන්න ආයෙත් තප්පුලන්න පටන් අරන්...