( +++ අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින්  බල මණ්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුළු පක්ෂ යාන්ත්‍රණය  වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාතික  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප  සංවිධායකවරුන්ට සහ මහජන නියෝජිතයන්ට පෙරේදා (12) උපදෙස් දුන්නේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  එජාප දිස්ත්‍රික් කළමනාකරුවන්  හමුවූ  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත උපදෙස් නිකුත් කරනු ලැබීය.

එක්සත් ජාතික  පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්,  ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුද දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ  හමුවට එක්ව සිටියහ.

මහ මැතිවරණය  සඳහා  නව සංවිධාන ජාලයක් හඳුන්වා දීමට ද  එක්සත් ජාතික  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කටයුතු කරමින් සිටී.

කොළඹ  වැනි  දිස්ත්‍රික්කවල පක්ෂ සංවිධාන පිහිටුවීමට වඩා  සමාජ ජාල, වෘත්තිකයන් දැනුවත් කිරීම වැනි ක්‍රම මගින් පක්ෂ  සංවිධාන ජාලය  ක්‍රියාත්මක කිරීමට නව සැලසුම් සකස් කෙරෙමින් පවතී.

මහ මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සඳහා  එක්සත් ජාතික  පක්ෂයේ ආසන සංවිධායකයින්, පළාත් පාලන නියෝජිතයින් සහ  යොවුන් පෙරමුණු,  ලක් වනිතා ඇතුළු ශාඛා සමිති ක්‍රියාකාරීහු  ඉදිරි දිනවලදී සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට කැඳවෙති