(සුජිත් හේවාජුලිගේ සහ තිලකරත්න දිසානායක)

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අනිද්දා (31) ඉරුදින පස්වරුවේ  සිදු කෙරෙන බව ආදාහන කමිටුවේ සංවිධායක,ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවැසීය.

කැලණිය  විද්‍යාලංකාර   පිරිවෙනෙහි තැන්පත් කරනු ලැබ ඇති උන්වහන්සේගේ දේහය අවසාන ගෞරව දැක්වීම සඳහා කැළණිය විශ්වවිද්‍යාලයට  අනිද්දා (31)දහවල් 12.00ට වැඩමවනු ලැබේ. දේහය ආදාහන පූජෝත්සවය සඳහා නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යනු  ලබන්නේ  ඉන් අනතුරුවය.

ආදාහන පූජෝත්සවය මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, දේශපාලඥයන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ විද්‍යාලංකාර පිරිවෙන් කමිටුවේ සහභාගිත්වයෙන් සිදුකෙරෙන බවද  දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.