(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ එස්.එම්.නසාර්)

කසිප්පු ජාවාරමක් ගැන කහවත්ත පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තුවක් ලබාදුන්නේ යැයි සැකය මත නිවිතිගල, කිරිබත්ගල වතුයායේ නිවෙසක් ජාවාරම්කරුවන් විසින් සම්පූර්ණයෙන් විනාශ කර ඇතැයි  නිවිතිගල පොලිසිය පවසයි.

පසුගිය 11 වනදා පොලිස් විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලිමකදි කසිප්පු මිලි ලිටර් 33750 ක් සහ ගෝඩා මිලි ලිටර් අට ලක්ෂ විසිපන්දහසක් සැකකරුවන් හත් දෙනෙකු සමඟ අත් අඩංගුවට ගෙන තිබේ .

එම සිද්ධියෙන් පසු ප්‍රදේශයේ නිවෙසකට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරය එල්ල කළේ කසිප්පු ජාවාරමට සම්බන්ධව අය බව නිවෙස් හිමි කාන්තාව විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. නිවෙසට පහරදුන්නේ යැයි කියන පුද්ගලයකුට ද එම නිවසේ පියා සහ පුතා විසින් ප්‍රහාරයක් එල්ල කිරිමෙන් ඔහු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි. 

එම පහරදිම සම්බන්ධව අදාල නිවෙස් හිමියාද අත් අඩංගුවට ගත් බවත් ඔහුගේ පුතා ප්‍රදේශයේ නැති බව නිවිතිගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ශක තිවංක බාලසූරිය මහතා පැවසිය.

කෙසේවෙතත් අතුරුදහන් තරුණයාගේ මව පවසන්නේ නිවෙසට ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු මැර කණ්ඩායමක් තම පුතා ලුහුබැඳ ඇති බවයි. එම තරුණයා අතුරුදහන් වු බවට අද 15 වනදා පස්වරුව වන තෙක් කිසිදු පැමිණිල්ලක් ලැබි නැති බව ද නිවිතිගල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය .

ඔත්තුව ලබාදුන් බව කියන අයගේ නිවෙසට සහ එහි තිබු භාණ්ඩ වලට බරපතළ ලෙස හානි කර තිබේ. ඔත්තුදුන්නේ යැයි කියන නිවසේ අය සහ කසිප්පු ජාවාරම්කරුවන් අතර ආරඅවුලක් තිබු බවත් පොලිසිය පවසයි .