(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඉවත් කළේ ලබන වසරේ සාගතයක් එන බවට රටට සත්‍ය කරුණු  ප්‍රකාශ කිරීම හේතුවෙන් දැයි ජනාධිපතිවරයා වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (23) ප්‍රකාශ කළේය.

කාබනික පොහොර වැඩපිළිවෙල කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වී ගොවිතැන ඇතුළු අනෙකුත් වගාවන්ගේ නිෂ්පාදනය 75% ක් දක්වා පහත වැටී ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ප්‍රකාශ කොට පැය 24 ක් ගත වීමටත් මත්තෙන් ලේකම්වරයා ඉවත් කොට ඇතැයි ද නියෝජ්‍ය නායකවරයා සදහන් කළේය.

රටේ සැබෑ තත්ත්වය හෙළිදරව් කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ ගෙල සිදලීමට හේතුවක් බවට ජනාධිපතිවරයා මෙම ක්‍රියාවෙන් පෙන්වා දී ඇති බව කී රුවන් විජයවර්ධන මහතා මෙවැනි ක්‍රියා හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් අධෛර්යමත් වන බවද පෙන්වා දුන්නේය. 

කෘෂිකර්ම ලේකම්වරයා එක්සත් ජාතික පක්ෂයේ හෝ විපක්ෂයේ පාක්ෂිකයෙකු නොව වියත්මඟ නිර්මාතෘවරයෙකු යැයිද විජයවර්ධන මහතා  කීවේය.

එක්සත් ජාතික පක්ෂ පාලනය තුළ රාජ්‍ය සේවය ශක්තිමත් කළ බවත් කෘෂි ක්ෂේත්‍රයට වැඩිම සේවාව කළේ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නායකයින් බවත් නියෝජ්‍ය නායකවරයා පැවසීය.