(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ දරුවන් 67 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර ඉන් දරුවන් 13 දෙනකුම නිවෙස්වල දී මියගොස් ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය.

සෙසු පිරිසෙන් ද මරණ සියයට 95කටම හේතුව ප්‍රමාද වී රෝහල්ගත කිරීම බව වෛද්‍යවරයා, දරුවකුට රෝග ලක්‍ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත හෝ රෝහලකට රැගෙනයාම කළ යුතු බව ද කීවේය.

විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට මෙරට කොවිඩ් ආසාදිත වූ සමස්ත දරුවන් සංඛ්‍යාව 59,000ක් බව කී වෛද්‍යවරයා මියගිය දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට කොවිඩ් නියුමෝනියා තත්වය වැළඳී තිබූ බව ද පැවසීය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශය අධ්‍යක්‍ෂිකා (මාතෘ සහ ළමා සෞඛ්‍ය) ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මෙහිදී පැවසුවේ මේ වන විට මෙරට ගර්භනී මවුවරුන්ගෙන් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් කොවිඩ් මර්දන එන්නත් පළමු එන්නත ලබාගෙන ඇති බවයි.

මෙරට කොවිඩ් වැළඳුණු ගර්භනී මවුවරුන් සිට 8,500ක් අතුරින් 56ක දෙනකු මියගොස් ඇතැයි ද ඇය කීවාය.

කොවිඩ් වැළඳුණු මවුවරුන් හා ඔවුන්ගේ දරුවන්ට මෙන්ම එන්නත ලබාගත් මවුවරුන් හා ඔවුන්ගේ දරුවන්ට යම් අසාත්මිකතා මතුවන්නේද යන්න ගැන යම් කාලයක් ගත වන තුරු පවුල් සෞඛ්‍ය නිලධාරීන් මගින් පසුවිපරම් කෙරෙන බව ද ඇය සඳහන් කළාය.