(සුජිත් හේවාජුලිගේ )

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 175කට  වැඩි මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබියදීත්  එකම කිරි ගවයකු හෝ  ආනයනය  කර බාරදී නැතැයි  කියන සිද්ධියක් පිළිබඳව ජාතික  විගණන  කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අදාල කොන්ත්‍රාත්කරුට 2018 වර්ෂයේදී මෙම මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ විදේශ බැංකුවකින් ලබාගත් ණය මුදලකිනි.

මෙනිසා එම මුදලට අමතරව මෙම ණය මුදල සඳහාවූ පොලිය මෙන්ම රුපියල අවප්‍රමාණයවීමේ  අලාභයද  රජයට දැරීමට සිදුවූ බව  විගණන වාර්තාවක සඳහන් වේ.

අමාත්‍යාංශය මුල් අදියර යටතේ  ක්‍රියාත්මක  කර ඇතැයි පැවසෙන  කිරි ගවයන් 5000ක් ගෙන්වීමේ ව්‍යාපෘතිය අසාර්ථකවී තිබියදී පාර්ලිමේන්තුවේ  කිසිදු  අනුමැතියකින් තොරව ඉතිරි කිරි ගවයන් ගෙන්වීමට මෙලෙස අන්තනෝමතික ලෙස  කටයුතු කර ඇතැයි   විගණන අංශ පවසයි.

අදාල බලධාරීන් රජයේ මුදල් මේ ආකාරයට වෙනත් පාර්ශවයන්ට අවභාවිතා කිරීමට ඉඩදී ඇති බවත්  අත්තිකාරම් මුදල් කොන්ත්‍රාත්කරු ට ගෙවා තිබූ හෙයින්  එම කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමට නීතිපතිවරයාටද නොහැකිවූ බවත් එම විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සිද්ධියට වගකිවයුතු පාර්ශවයන්ට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.