(සුජිත් හේවාජුලිගේ )

බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබියදී එවැනි බොහෝ සාප්පු විවෘත කර පවත්වාගෙන යෑම නිසා ඒ හරහා ලොකු කොරෝනා අවදානමක් මතුවී ඇතැයි එම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය.

මෙම ඇඳුම් සාප්පු සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මකවී ඒවා වසා දැමීමට පියවර ගන්නැයි පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය.

මේ අතර තහනම නොතකා විවෘත කර ඇති කඩ සාප්පු සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහනම් කරනු ලැබුවේ පසුගියදා නිකුත් කෙරුණු විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහය මගිනි .