
(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් රෝහල් පද්ධතියට දැනෙන ආකාරයේ වැඩිවීමක් දක්නට ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීම සියයට 5ත් 7ත් සංඛ්‍යාවක් බව පැවසූ වෛද්‍යවරයා මෙම තත්වය ඉතා සීඝ්‍රයෙන් ලොකු වැඩිවීමක් දක්වා තල්ලු විය හැකි බවද පෙන්වා දුන්නේය.
ජනතාව පසුගිය නිවාඩු සති අන්තයේ ගත කළ ආකාරය අනුව මෙම අහිතකර ප්‍රතිඵල ලැබී ඇති බවත් මෙහි නියම ප්‍රතිඵල දැකබලා ගැනීමට තව සතියක් දෙකක් ගත වනු ඇති බවත් ඔහු පැවසුවේය.
රටේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් ලැබුණු ප්‍රතිඵල ජනතාව අවභාවිතා කරමින් සිටින බව පැවසූ අන්වර් හම්දානි මහතා රට විවෘත කළේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට මිස විනෝද සවාරි යෑමට නොවන බවද පෙන්වා දුන්නේය.
වහාම සෞඛ්‍ය නීති වලට අනුගතව කටයුතු කරන්නැයි තමා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එසේ කටයුතු නොකළහොත් කොවිඩ් පැතිරීම සීඝ්‍රවී අධ්‍යාපනය හා ආර්ථිකය ඇතුළු සියලු ක්ෂේත්‍ර කඩාවැටිය හැකි බවත් හෙතෙම පැවැසීය.
අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට නිවෙස්වලින් පිටවීම සීමා කරන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.
බොහෝ ජනතාව අද හැසිරෙන්නේ රටේ මෙයට පෙර කිසිදු දෙයක් ඇති නොවුණු ගාණට යැයි පැවසූ වෛද්‍යවරයා කොවිඩ් තත්වය ඉදිරියේදී වැඩි වුවහොත් ඒ ඒ ප්‍රදේශ හෝ අංශ (ආයතනවල ) පමණක් වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිමය 50 දෙනෙක් කිව්වාට මේ දිනවල පැවැත්වෙන කඨින පිංකම් සඳහා බොහෝ දෙනෙක් සම්බන්ධ කරගන්න භික්ෂූන් වහන්සේලා කටයුතු කරනවා. ලවුඩ්ස්පීකර් දමා පන්සලට එන්න කියමින් ගම දෙවනත් කරනවා. ඒක මීළඟ කොරෝනා රැල්ලට ඉතාම හොඳ හේතුවක් වේවි..