(අජන්ත රත්නායක)

වෛද්‍යවරයකුට පහරදුන්නැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක නිරත විය.

රාජකාරියේ යෙදී සිටි  වෛද්‍යවරයකුට පසුගිය 19 වැනිදා රාත්‍රියේ කාසායම් පිරිසක් සිදු කළ පහරදීමකින් තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වනවිට එම රෝහලේදීම ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය අද උදෑසන 8 සිට වැඩ වර්ජනයක් ද ආරම්භ කළ අතර ඒ හේතුවෙන් බාහිර රෝගී අංශය සහ සායන ඇතුළු රෝහලේ ඒකක ගණනාවක ප්‍රතිකාර කටයුතුවලට බාධා සිදුවිය. ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණි රෝගීන් හිස් අතින්ම ආපසු හැරී යන අයුරු එහිදී දැකගත හැකි විය.