
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කුරුණෑගල නගර මධ්‍යයේ පවතින ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් , එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ අද (28) රිට් පෙත්සමක් ගොනු කළේය.
ජාතික ජන බලවේගය පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
දේශපාලන බලපෑම් හේතුවෙන් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ විධිමත් ආකාරයෙන් සිදු නොවන හෙයින් ,එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අදාළ නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩ බලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත රිට් ආඥාව නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර නාමල් කරුණාරත්න මහතා සිය පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් ගොනු කළ එම රිට් පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණය සඳහා ද පෙත්සම්කරු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග වදී.
කුරුණෑගල නගර මධ්‍යයේ දෙවැනි බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය පිහිටා තිබූ අතර එය පුරාවස්තුවක් ලෙස නම් කරනු ලැබ තිබිණි.වර්ෂ 1293 සහ වර්ෂ 1302 අතර කාලසීමාව තුල ඉදි කළ බව කියන දෙවන බුවනෙකබාහු රජුගේ මෙම රාජ සභා මණ්ඩපය ඉකුත් 14 වැනිදා දා කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින කුරුණෑගල නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල විණි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක්ද පත් කරනු ලැබීය.
මෙම රාජසභා ගොඩනැගිල්ල පුරාවිද්‍යා පනත යටතේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදී එය කඩා ඉවත් කිරීම තුළින් පුරාවිද්‍යා පනත යටතේ වරදක් සිදුවී ඇත.
මෙම අපරාධ ක්‍රියාව පිළිබඳව පෙත්සම්කරු ඉකුත් 23 වන දා කුරුණෑගල මූලස්ථාන පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කළ ද මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැත.
මේ අතර ඉකුත්දා පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොතබන බවය.එය විවිධ ජනමාධ්‍ය ඔස්සේ විසින් වාර්තා කර තිබිණි.
දේශපාලන බලපෑම් හේතුවෙන් පොලීසිය විසින් නිසා පරීක්ෂ පවත්වා නොමැත.
එබැවින් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ විධිමත් ආකාරයෙන් සිදු නොවන හෙයින් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට අදාළ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත රිට් ආඥාව නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර නාමල් කරුණාරත්න මහතා ඉල්ලා සිටී.
COMMENTS
පහුගිය කාලේ උතුරු නැගෙනහිර පළාත් වල බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන කොට මේ උන්නැහේලා කොහෙද හිටියේ?
නගරාධිපති වුනාට කිසි වැදගත් කමක් නැති පාටක් පෙන්න තියෙන්නේ.
හලෝ ඔහෙලා 1989 කාලේ නීති ක්‍රියාත්මක කළ ආකාරයට නීති ක්‍රියාත්මක කරන්න කියලද කියන්නේ..?
හම්බයින්ගේ ඔඩොක්කුවේ..