(යොහාන් භාසුර)

ක්‍රිකට් තරග මුදලට පවාදීමට යෝජනා කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ වත්කම් වාර්තාව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) නීති විරෝධි වත්කම් විමර්ෂණ ඒකකයට යොමු කළේ යැයි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

සචිත්‍රගේ වත්කම් වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ද වාර්තාවක් ලබාගත් බව කී ජගත් ෆොන්සේකා මහතා වත්කම් පිළිබඳව විමර්ශනයට සී.අයි.ඩී.යේ නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකය විශේෂඥායන් වීම නිසා ඔවුන්ගේ වැඩිදුර වාර්තාවක් ලබාගැනීම සඳහා ඔහුගේ වත්කම් වාර්තාව එම ඒකකයට යොමු කළ බව සඳහන් කළේය.  

සචිත්‍රගේ ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමුකර ඇති බවත් ‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් දෙවැනි ප්‍රකාශය ලබාගැනීමට ඔහු කැඳවීමට නොහැකි වී තිබෙන බවත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් කීය.

හම්බන්තොටදී පසුගිය වසරේ පැවැති ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයකුට තරග පාවාදීමට යෝජනා කළේ යැයි සචිත්‍රට චෝදනා එල්ල වී තිබේ.

සචිත්‍ර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මස 3 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නේය.