(බිඟුන් මේනක ගමගේ)

ලංකාවේ කසළ කඳුවලින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට්වලින් හා වසුරු පොහොරවලින් මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය එකතුවන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ‘ලංකාදීප’යට පැවැසුවාය.

කසළ කඳුවලින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට් හා වසුරු පොහොර සම්බන්ධයෙන් තමා කළ පරීක්ෂණයක් මගින් මේ කරුණ අනාවරණය වී යැයි මහාචාර්ය විතානගේ මහත්මිය කීවාය.

ලංකාවේ කසළ කඳු 260කට අධික සංඛ්‍යාවක් ඇති නමුත් සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන්නේ එයින් දෙකක් පමණක් යැයි ඇය අවධාරණය කළාය.

කසළ කඳුවලින් සැකසූ මේ කොම්පෝස්ට්වලින් ඇත්තටම කෙරෙන්නේ කුණු ගොඬේ පවතින බැරලෝහ ගොවිබිමට මුහු කිරීම යැයි චෝදනා කළ මහාචාර්යවරිය ලංකාවේ කසළවලින් සකසන කොම්පෝස්ට්වල බැර ලෝහ තිබේ නම් චීනයෙන් ගෙනෙන කොම්පෝස්ට්වල ද එවැනි අන්තර්ගතයක් නොතිබීමට පදනමක් නැතැයි ද පැවසුවාය.

ඌරු හා කුකුල් කොටුවලින් ගන්නා වසුරු පොහොරවලින් ද මේ ආකාරයටම හෝමෝන හා ප්‍රතිජීවක ගොවිබිමට එකතු වන බවට පරීක්ෂණයක් මගින් තහවුරු කරගත්තේ යැයි ද මහාචාර්ය විතානගේ මහත්මිය පැවසුවාය.

 සත්ව ගොවිපලවලදී ඌරන් හා කුකුලන් සඳහා හෝමෝන හා ප්‍රතිජීවක විශාල සංඛ්‍යාවක් යොදාගන්නේ යැයි කී ඇය එම සතුන්ගේ වසුරුවල අදාළ හෝමෝන හා ප්‍රතිජීවක අධිසාන්ද්‍රණවලින් ඇති බවට කරුණු අනාවරණය වී යැයි කීවාය.

 එවිට අදාළ වසුරු පොහොර කුඹුරට එකතු කළ විට පෙර කී හෝමෝන හා ප්‍රතිජීවක ජලය මගින් වී පැලයට උරාගන්නේ යැයි ද සහල් ආහාරයට ගැනීමේදී ඒවා නැවතත් මිනිස් සිරුරට ඇතු`ඵවන්නේ යැයි ද විතානගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.