(විනිතා එම් ගමගේ‍)

භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශය විසින් නිකුත් කර ඇති කැණීම් හා වෙළෙඳ බලපත්‍ර අතරින් අලුත් කිරීම සඳහා අයදුම් කර ඇති හා 2021.08.01 දින සිට 2021.09. 30 දින අතර කාලය තුළ අවලංගුවීමට වීමට නියමිත බලපත්‍රවල වලංගු කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කළ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා මත බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුකොට ගෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා හා ඛණිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම අසීරු වීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් මෙම තීරණය ගත් බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට දුන් උපදෙස් මත මෙම තීරණය ගත් බවත් හෙතෙම කියා සිටියේය.

එම බලපතුවල කොන්දේසි නොඉක්මවන ඛනිජ ප්‍රමාණයන් කැණීම හා වෙළඳාම සිදු කිරීමට බලපත්‍රලාභීන් වග බලාගත යුතු බව කී එම නිලධාරියා මේ සම්බන්ධව යම් විමසීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලයෙන් වැඩිදුර විස්තර දැන ගැනීමට ද හැකි බව කියා සිටියේය.