(ඩයනා උදයංගනී)

උතුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සඳහා මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ සඳහා නම් යෝජනා කිරීමේදී යම් දේශපලාන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතිකමය කරුණු වැනි දෑ ඉලක්ක නොකළ යුතු අතර ඒවාට හානි කර නොවිය යුතු බවත්, ස්ත‍්‍රී/පුරුෂ විශේෂත්වයක් නොමැතිව නම් ඉදිරිපත් කළ හැකි බවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට අමතරව ඉදිරිපත් කරන නම් ලෝකයේ ඇති කුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුතු වන අතර රළු හෝ කෘර හෝ ස්වභාවයක් නොගත යුතු බවත්, උච්චාරණයේ දී පහසු විය යුතු අතර, එම නම් ඉංග‍්‍රීසි බසින් ලිවීමේ දී උපරිම අකුරු 8 කට සීමා විය යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

යෝජිත නම් අධ්‍යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යන ලිපිනයට මෙම මස 15 වන දිනට පෙර යොමු කළ යුතු බවද එහි දැක්වේ.