(ඩයනා උදයංගනී)
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (18) පැවසීය.
කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද කොකේන් ආදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඟයන් මෙන්ම මෙරට ඉහළ රැකියා කරන ඇතැමුන්ද එම මත්ද්‍රව්‍ය භාවිත කරන බව සඳහන් කළේය. පරීක්ෂණවලට බාධාවක් නිසා තමන් එම නම් හෙළි නොකරන බව ද රන්ජන් රාමනායක මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතා මේ බව පැවසුවේ මාදිවෙල පිහිටි සිය මන්ත්‍රී නිල නිවසේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් ඇමතිවරුන් සිටින බවට රන්ජන් රාමනායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර ඒ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 11ක් භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ රුධිර පරීක්ෂණයක් පෞද්ගලිකව කිරීමට වැයවන්නේ රුපියල් 4200ක් බව කී රාජ්‍ය අමාත්යරවරයා කඩිනමින් තමාගේ රුධිර පරීක්වක් කර කතානායකවරයාට භාරදෙන බව ද කීවේය. තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවශ්‍යම සෙසු මන්ත්‍රීවරුන් සිටී නම් ඔවුන්ට ද රුධිර වාර්තාවක් ලබාදිය හැකි බව කී රන්ජන් රාමනායක මහතා එය අභියෝගයක් නොවන බව ද සඳහන් කළේය.
වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියන, පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක් නියෝජනය කරන පක්ෂ නායකයෙක්ද කොකේන් භාවිත කරන ඇමතිවරු අතර සිටින බව කී රන්ජන් රාමනායක මහතා මීගමුව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙක් මත්ද්‍රව් ජාවාරමේ නිරත බවට ද තොරතුරු ලැබී ඇතැයි ප්‍රකාශ කළේය.
දේශපාලකයින් මෙන්ම ආගමික පූජකවරුන්ද මෙම මත්ද්‍රව්‍ය භාව කරන බවට තොරතුරු තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන දේශපාලනඥයින් තිදෙනෙකු එතනෝල් ජාවාරමට සම්බන්ධ බවටත්, මත් පෙති වර්ග ගෙන්වන ඇමති පුතුන් සිටින බවටත් තොරතුරු තිබෙන බව ද හෙතෙම කීවේය.
එක්සත් ජාතික පක්ෂ්ය නියෝජනය කරන්නන් අතර ද මත්ද්‍රව්‍ය ලෝලීන් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කැබිනට් ඇමතිධූර හරහා කුඩු ව්‍යාපාර කර කොළඹින් තට්ටු නිවාස ගෙන සිටින අයත් සිටින බව කී රන්ජන් රාමනායක මහතා තමන්ට මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් විශ්වාස කළ හැක්කේ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් ලතීෆ්, අපරාධ පරීක්ෂාණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශානි අබේසේකර මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු පමණක් බවද කීවේය.
පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය දුටු විට ඔවුන් කුමන හෝ මත්ද්‍රව්‍යයක් ගෙන ඇත්ද යන සැකය තමාටත් ඇතිවූ බව කතානායකවරයා තමන්ට පැවසූ බව ද රාමනායක මහතා ප්‍රකාශ කළේය.
කොකේන් මෙතරම් පැතිරීමට දේශපාලනඥයන්ගේ ඍජු සම්බන්ධයක් තිබිය යුතුය බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරන විමර්ෂණ වෙනුවෙන් මෙන්ම මත්ද්‍රව්‍ය පාලනය සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට තමන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බව ද කීවේය.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක මහතා ද පාර්ලිමේන්තුවේ කුඩු ගහන මැති ඇමතිවරුන් සිටින බව සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබූ බව හෙතෙම වැඩිදුරටත් කීවේය.
ඩුබායිහි සිටින විශේෂ නියෝජිතයෙක් බව කියන අයෙකුට මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා දුරකථන ඇමතුමක් ගත් අතර එහිදී එම පුද්ගලයා දුරකථනය ඔස්සේ පැවසුවේ මාකඳුරේ මධුෂ් ඇතුළු ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයින්ට 2020 අගෝස්තු වන තුරු පොදු සමාවක් හෝ නොලැබෙනු ඇති බවයි. ඔවුන් වරදක් කර ඇත්නම් පොදු සමාවක් මගින් පිටුවහල් කිරීම පවා සිදුවන්නේ 2020 අගෝස්තු මස රාමදාන් සමයේදී බව ද එම නියෝජිතයා දුරකථනය ඔස්සේ පැවසීය.
මධුෂ් ඩුබායි වෙත ගොස් ඇත්තේ ‘අජිත්’ යන්න මුලට යෙදෙන නමකින් ශ්‍රී ලංකාවෙන් නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍රයකින් නිසා ඔහු පිටුවහල් කළ යුත්තේ ශ්‍රී ලංකාවට බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට ආයුධ ගෙන ආ බවට රන්ජන් රාමනායක මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු පැවසුවේ තමන් ඕනෑම තැනකට යන්නේ ආරක්ව සම්බන්ධයෙන් සන්නද්ධව බවයි.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )

COMMENTS
නියමයි.
රන්ජන් සංදර්ශන කරනවා කියලා සමහරු කිව්වට හෘද සාක්ෂියට එකඟව පොඩ්ඩක් හරි ඇත්ත කතා කරන්නේ ඔහු විතරයි.
කුඩු වසංගතය රටේ බහුලව ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ 2009/10 වසර වල වන අතර, එය රාජ්‍ය රැකවරණය සහ අනුග්‍රහය නොමැතිව සිදුවූවා යයි සිතිය නොහැක. දැන් රජය මේ උවදුර මැඩලීම සඳහා පොලිසියට සහයෝගය දෙනවාද? එසේත් නැත්නම් රටේ මත් කුඩු ව්‍යාප්ත වන්නට ඉඩදී නිහඬව සිටිනවද යන්න ගැන පැහැදිලි ස්ථාවරයකට පැමිණිය යුතුයි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ රජයේ ආයතනක් වන පොලිසියේ නිලධාරීන් තැනින් තැන මත්කුඩු ඇල්ලීමට ගොස් නිකරුනේ මරුමුවට පත්වී ඔවුන්ගේ දරු පවුල් අනාථවීම පමණි.
පරීක්ෂණයට යන්නේ රුපියල් 4200 යිලු... අපේ කීදෙනෙක් හොර සහතික දීලා, ගිය ගණන වගේ අඩුම තරමින් දෙගුණයක්වත් ආපහු අපේම මුදලින් කඩාගනියි.. කලකන්නි ...
නමුත්, එක කරුණක් කිවයුතුයි. රන්ජන් ඇමැතිතුමා නිර්භීතව එක දිගටම දූෂණ, වංචා හෙලිකරගෙන ආවා.... නමුත් මේ වෙලාවේ කැබිනට් ඇමැතිවරු ඇතුළු බලවත් පිරිසකගේ නම් හෙලිකර ඇති නිසා එතුමාගේ ජීවිතයට තර්ජනයක් ඇතිවිය හැකියි. මත්ද්‍රව්‍ය භාවිතය සහ මත් ව්‍යාපාරයන්හි යෙදෙන්නේ දූෂිත මිනීමරුවන් බැවිනි.
අපොයි දෙයියනේ අපි මේ ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ද? එහෙම නම් ඉතින් ඔතන පාතාලයොත් ඇති. නැතිනම් පාතාලයට කෙලින්ම සම්බන්ධ අය ඇති. අනේ අපට ගිය කලක්....! අපේ රට අගාධයට යන එක වලක්වන්න කවුරුත් නැද්ද...?
බැලුවම සුදු පිරුවට පෙරෝගෙන දත් ටික විරිත්ත ගෙන මෙන්ම උද්දච්ච මුහුනුත් තියෙන ජිවිතේට හිනාවක් නැති අය අතරින් කුඩු ගහන අය කවුද කියල දැනගන්න ලැබෙන එකත් පුරවැසියන් හැටියට අපි සතුටු වෙනවා
රටටත් හෙලි කරන්න.
ලැජ්ජයි එත් ඇත්තයි
මන්ත්‍රීලා පාර්ලිමේන්තු යවන්නේ කුඩු ලැයිස්තු හදන්න නොවෙයි, කුඩු කාරයෝ අල්ලන්න පොලිසියට නියෝග දීලා රට සංවර්දනයට අදාළ තීන්දු තීරණ වල යෙදෙන්න. රටට වැඩක් කරන්න.
මේ විදියට බලන කොට රටේ කී දෙනෙක්ද ඉතුරු වෙන්නේ? දැන් ඔය එක එක දවස් වලට හතු පිපෙනවා වගේ එනවනේ කරලියට. එයාලත් කතා කරන කොට වෙනස්නෙ. හැබැයි කට්ටිය දෝත වැඳලා පිලිගන්නවා ඒ අයව. බලන්නකෝ තව ටික දවසකින් එලියට ඒවි. අද කාවත් විශ්වාස කරන්න බැහැ.
ඉතින් ඕකට ඔය තරම් කෑගහන්නේ බීපු දෙන්කෝ ඉගෙනගන්න අසරණ දරුවෝ නෙමේනේ ජනතාවට කරන ද්‍රෝහීකම් මතක් වෙනකොට කුඩු ගහන්න හිතෙනවා ඇති. මුණ දෙන්න බැරි එකට 255 ගහපු දෙන් මෙයාලව අල්ලා දුන්නත් මොවුන් නිදොස් වෙනවා මොවුන්ට බලය වැඩියි. මේ කට්ටිය ඉල්ලා අස් වෙන්නෙත් නැති නිසා පැදුරටත් නොකිය දවසක යයි. පව් ඒ අයට හිරිහැර නොකර මුල්ලකට වෙලා සිහින ලෝකේ පාවෙන්න දෙන්න
රන්ජන් ගොන් කතා කියන්නේ නෑ... කිව්වොත් වටිනා කතාවක්
නියමයි මහත්තයෝ අපි සියලු රට වැසියන්ගේ ගෞරවය ඔබ තුමාට
දුන්නා කියලා දිවුරන්න. මට නම් සැකයි.
විජිත් මම ඊයේ ගියා කොළඹ අවට ප්‍රදේශයක නගර සභාවක නගරාධිපති කෙනෙක් හමුවන්න. හේතුව මෑතක සිට කුණු බැහැර කිරීමේ ප්‍රශ්නයක් මට තිබෙන්න නිසා. මගේ කරුණ පැහැදිලි කිරීම සඳහා මම ලිපියක් ලියාගෙන ගියා. හැබැයි එම ලිපියේ " මුග්ධ පාලකයින් පාලනය කරන රටක" කියන වැකිය ඇතුලත්වී තිබුනා. මම සුදානමින් ගියේ මේ සම්බන්දව නගරාධිපති මා සමග උරණ වී කතාවක් ඇති වුනොත් ඊට නිසි පිළිතුරු දීමටයි. පළාත් සභා ප්‍රාදේශීය සභා කාර්යාල ගැන ජනතාවගේ කිසිම පැහැදීමක් නැත. නමුත් මෙම නගරාධිපති නියම වෙලාවට ඔහුගේ කාර්යාලයට පැමිණියා පැමිණි විගසම මට කතාකලා. මම දීපු ලිපිය කියෙව්වා මම ලියා තිබුන ඉහත සඳහන් වැකිය සමග ඔහුද එකඟ වුනා. අන්තිමට තීරණය වුනේ මේ රට කිසිදාකවත් හදන්න බැරි රටක් හැටියටය. ඒ නගරාධිපති තුමා ලංකාවේ වයසින් බාලම වුවත් බොහොම විවෘත අදහස් ඇති නිහතමානී කෙනෙක් බව හැඟුනා.
රන්ජන්ගේ හෙලිදරව්වට අනේක වාරයක් ස්තුතියි. මේ හෙළිදරව්ව නිසා පාර්ලිමේන්තුවේ සමහර ඔළුගෙඩි වලට හෙන ගෙඩි පාත්වුනා සේ දැනෙනවා ඇති. රන්ජන් කලේ නියම වැඩේ නිසි වෙලාවට. කොයි පැත්තෙන් හෝ කුඩ්ඩන්ව පාතාලයන්ව පාර්ලිමේන්තු නොයැවීමට මේ නිසා ජනතාව දැනුවත් වෙනවා. තවත් කෙනෙකු පැවසුවාසේ මේවා ඔප්පු කිරීමට නම් රන්ජන් ඉතාමත් ආරක්ෂාකාරීව සිටිය යුතුයි. එබැවින් මෙය ඔප්පුකරන තුරු හෝ රන්ජන්ට වැඩි ආරක්ෂාවක් දිය යුතුයි.
පොලිසිය ඔය හොඳට කරන්නේ. ජනාධිපතිතුමාම ඒ ගැන කියලා තමයි පොලිසිය තමන් අතට ගත්තේ.
එතකොට මේ රටේ තියෙන නීතියක් කියන එකක් ගණන් ගන්නේ නැත්තේ , කුඩු ගහන නිසාද ?
රංජන් නුඹ තමා සැබෑම රටට ආදරේ කරන පුද්ගලයා සුබ ගමනක් අපි ඔබ සමගයි ජයවේවා
අයියෝ 24 ද? රට යන විදියට මම හිතුවේ 225 ගහනවා ඇති කියලා.
අන්න! රන්ජන් මහත්තයෝ නියම තැනට ඇවිත් තියෙන්න. බුලත් කොලය, අලිය, අත, සීනුව,පොහොට්ටුව අපිට අදාලම නැහැ. අනික අර කතාවකුත් තියෙනවනේ "උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ" කියා.
ඊයේ ජනාධිපති ලේකම් කර්‍යාලයේ රියදුරෙක් කුඩුත් එක්ක අහුවෙලා තිබුණා. කවුද ඕවා ගෙන්නේ කියලා හිතා ගන්න පුලුවන් නේ !
පාර්ලිමේන්තු විහිලු
මම දකින විදියට මේ ඔක්කොම රගපෑම් විතරයි. නීති විරෝධිව ආයුධ රැගෙන පාර්ලිමේන්තුව ඇතුලට ගිහින් අනිත් අයට නීතිය පෙන්නන්ට හදනවා. ඒක අරන් ගියේ මගේ ජීවිතාරක්ෂාවට කිව්වහම මෝඩ මිනිස්සුත් රැවටෙනවා. අර කලින් කෙනෙක් සදහන් කරලා තියෙනවා වගේ නීති හදලා ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ට නොදී සංදර්ශන පවත්වනවා..
රන්ජන් ඔහොම යං
කොහේ බැලුවත් දුෂණය වංචාව වැහි වහැලා. මොවුන්ට මේ ආත්මයේදීම පරිසන් දෙනවා කරන හොර වැඩවලට.
රන්ජන් රාමනායක දන්නවද ඕනෑම මත්ද්‍රව්‍ය පරීක්ෂණයක ප්‍රතිපල මත්ද්‍රව්‍ය අරගන පැය 24 ට පස්සේ නෙගටිව් වෙනවා කියල.
ඕකුන්ට ඡන්දෙ දෙන ජනතාවත් කුඩු ගහලද?
රට වෙනුවෙන් අවුරුදු ගානක් සේවය කරනවා කියලා මහජන මුදල් නාස්ති කරලා....... දුෂණයට භීෂණයට කඩේ ගිය අයගේ රුධිරය කොහොමත් නරක් වෙලයි තියෙන්නේ. පරීක්ෂා කලාට කිසිම ප්‍රතිඵලයක් ගන්න බැහැ. ඇගේ තියෙන්නේ මනුස්ස ලේ නෙමෙයිනේ......
මින් මතුවට චන්දෙ ඉල්ලන්න පෝස්ටර් ගහනකොට මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවට පිළිගත් ආයතනයකින් නිකුත් කල සහතිකයේ පිටපතක් ද පෝස්ටරය සමග ප්‍රදර්ශනය කරන මෙන් සියලුම ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිමු. එය අනිවාර්ය කිරීමට ඇති හැකියාව ගැනත් සොයා බැලීමට බලධාරීන්ගෙන් ඉල්ලාසිටිමු. එසේ නොවන්නේ නම් එම අපේක්ෂකයින් හට චන්දය නොලැබෙනු ඇත. නිමල්
මොහුව අපි රැක ගත යුතුයි.
අභීතයි, උත්කෘෂ්ටයි, අති අනර්ගයි
රන්ජන් කියන කතා වල ඇත්තක් තිබෙනවා. මේව මෝඩ කතා හෝ විරුද්ධ පක්ෂයට මඩ ගහන්න කරන දෙයකුත් නොවේ, පැත්ත ගියත් ඇත්ත කියන මනුස්සයෙක්
පාර්ලිමේන්තුවේ ඔක්කොම මේ පරික්ෂාවට යොමු කරානම් හරි
de Silva රන්ජන් කීවද කොකේන් ගහන ඇමතියන් ඉන්නේ විරුද්ද පක්ෂයේ කියලා?
කඩේ යන අය නිසා තමයි රට විනාස වෙන්නේ. ඔය එක්‌කෙනෙක්වත් රටට ආදරේ නෑ. ඒ අයට ඕන ඒ අයගේ බඩගෝස්තරය පුරවගන්න.