(සුමතිපාල දීයගහගේ) 
 

කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් පහකින් අද (17) වන විට කොරෝනා ආසාදිත සේවකයින් 70 දෙනෙකු හමුවී ඇතත් එම  වෙළඳ කලාපයේ එකම කම්හලක් හෝ වැසීමට අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියෙක් අද (17) පැවසිය.


කොග්ගල වෙළඳ කලාපයේ ඇගලුම් කම්හල් කීපයකින් හමුවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තියන නිසා එම කම්හල් තාවකාලිකව වසා තබන්නේදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් එම නිලධාරියා මේ බව සදහන් කළේය.
එහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළ  ආයෝජන මණ්ඩල නිලධාරියා මෙසේ ද කීය.කොග්ගල නිදහස් වෙළද කලාපයේ කම්හල් 22 ක සේවක සේවිකාවන් 12,500 ක  පමණ පිරිසක් රැකියා කරනවා. මෙම වෙළද කලාපයේ කම්හල් කිපයකින් මේ වන විට කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවී තියනවා. සේවකයින් දොළොස් දහස් පන් සියයක් සිටින කම්හල්වලින් ආසාදිතයින් 50 ක් 60ක් වාර්තාවීම බරපතල සිද්ධියක් නෙවෙයි. කොග්ගල වෙළද කලාපයේ සේවකයින්ගේ ආරක්ෂාව සදහා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් එම කම්හල් විසින් අකුරට ක්‍රියාත්මක කරනවා. 

අයෝජන මණ්ඩලය එම කටයුතු නිරන්තරයෙන්ම නිරීක්ෂණය කරනවා. ඇගලුම් කම්හල්වල සේවකයින්ට කම්හල්වල වියදමින් පී සි ආර් පරික්ෂණ සිදු කරනවා. ආසාදිතයෙකු හමුවු විට එම ආසාදිතයාට සම්බන්ධ සියලු දෙනා නිරෝධායනයට යොමු කරනවා. එපමණක් නොවී නිරෝධායනයට යොමු කරන සේවකයින්ට අවශ්‍ය  පහසුකම් කම්හල් මගින් ලබා දෙනවා.

ඒ වගේම මෙම කම්හල්වලට විදේශ රටවලින් විශාල වශයෙන් ඇනවුම් ලැබෙමින් පවතිනවා. ඒ නිසා එම ඇනවුම් සම්පුර්ණ කර විදේශ රටවලට යැවිය යුතුයි. කම්හල් වසා තැබුවහොත් අපේ රටට ලබා ගත හැකි ආදායම් නැතිව යනවා. ඒ නිසා මේ සියලු දේවල් ගැන සළකා බලා වෙළඳ කලාපයේ කම්හල් වසා නොතබා කොරෝනා වයිරසය වැළැක්වීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා යයි ද එම නිලධාරියා  වැඩිදුරටත් පැවසීය.