(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

 

පොදු ස්ථානවලට ගමන්  කරන පුද්ගලයන්ට   කොවිඩ්  මර්දන එන්නත්  දෙකම ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම   අනිවාර්ය  කිරීම පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.

මේ අනුව තමා ඒ සඳහා කටයුතු කරන බව පැවසූ ඇමැතිවරයා මෙම තීරණයට  විරුද්ධව යමකු අධිකරණයට ගියොත්  ඊටද මුහුණ දීමට සූදානම් බව  සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලෝකයේ රටවල් ගණනාවක් පොදු ස්ථානවලට එන්නත් කාඩ්පත අනිවාර්ය කර ඇති බවත් එන්නත්  ලබා ගැනීම පිළිබඳව පරිගණක ඇප් එකක්  හඳුන්වාදී එම කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පැවසුවේය.

මේ අතර විවිධ එන්නත් වර්ග සම්බන්ධයෙන් ලෝකය පුරා විවිධ තොරතුරු ගලා යමින් පවතින බව පැවසූ හෙතෙම එම තොරතුරු පිළිගෙන ලෝක ගමනට  බැහැරව යා නොහැකි බවද  ප්‍රකාශ කළේ‍ය.