මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැඩ සටහන සංවර්ධන ආධාර ගිවිසුමක් බවත් මේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 480 ක මුදල ඇමෙරිකානු ජනතාවගේ පූර්ණ පරිත්‍යාගයක් මිස ණය මුදලක් නොවෙන බවත් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිවාස් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් දන්වා සිටී.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන ශ්‍රී ලංකික ජනතාවගේ ආර්ථික වර්ධනයට ඉවහල්වනු ඇතැයි සඳහන් කරන අමෙරිකානු තානාපතිනිය මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ගමනාගමනය සහ ඉඩම් කළමනාකරණය පිළිබඳ ගැටලු විසඳීම බවද මෙම ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයන් විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී ලංකාවේ නායකත්වයට සහ අනෙක් හවුල්කරුවන්ට වගකියන ආකාරයට ක්‍රියාත්මක වනු ඇති බවද කියා සිටී.
දැනට කොළඹ නගරයේ සහ ඒ අවට පවතින වාහන තදබදය නිසා ඇතැම්විට පිටකොටුව සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට යෑමට ගතවන කාලය අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට යාමට ගතවන කාලයට සමාන වන බව පවසන තානාපතිනිය ගමනා ගමන පහසුකම් නංවාලීමේ ව්‍යාපෘතියෙන් කොළඹ නගරයේ කිලෝමීටර් 250 ක වාහන තදබදය අඩුවී නගරය තුළ ගමනාගනය සඳහා ගතවන කාලය සියයට 40 කින් පමණ අඩුවනු ඇති බව කියා සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් බස් මාර්ග සහ කාලසටහන් ප්‍රතිසංවිධානය වීමෙන් පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කරන විශේෂයෙන්ම දුප්පත් ජනතාවට සහනයක් ලැබෙන බවත් තානාපතිනිය සඳහන් කරයි.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිදු ඉඩමක් ඇමෙරිකානු රජයට හෝ ආයතනයකට පැවරෙන්නේ නැතැයි තානාපතිනිය කියා සිටී.
රජය මගින් දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්ක පහක වර්ග කිලෝමීටර් 46,000 ක් ආවරණය වන පරිදි විස්තරාත්මක සිතියම් සකස් කිරීම වැනි වැඩ සටහන්වලට අදාළව ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වනු ඇතැයි සඳහන් කරන ඇමෙරිකානු තානාපතිනිය එමගින් පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කයක වැසියන්ට තම ඉඩම් ඔප්පු ඩිජිටල් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි කොට ඒවා සුරක්ෂිතව තබා ගැනීමට හැකිවනු ඇතැයිද කියා සිටී. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වී ඇති පරිදි නූතන ක්‍රමවේද අනුව ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීමද මේ මගින් හැකිවනු ඇති බව තානාපතිනිය ප්‍රකාශ කරන්නීය.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇති ලිපිය මෙසේය.
මා මේ ලිපිය ලියනුයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැඩ සටහන සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහ ශ්‍රී ලංකාවට ඒ මගින් ලැබෙන වාසි පිළිබඳව ඔබතුමා විසින් යොමු කොට ඇති සැලකිල්ල පිළිබඳව පැහැදිලි කිරීමටය. අප දෙරට අතර ඇති ද්විපාර්ශවික සබඳතාවයේ විනිවිද බව රැක ගැනීමට එක්සත් ජනපදය කැපවී ඇති බව මූලිකව සඳහන් කළ යුතුය.
සංවර්ධන ආධාර ගිවිසුමක් වන මෙම (MCC) වැඩ සටහන සමෘද්ධිය ළඟා කර දීම සඳහා සකස් කළ එකකි. එය ඔබ අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික වර්ධනයට ඉවහල් වනු ඇත. අප දෙරටේ රජයන් එක්ව වසර ගණනාවක සිටම ශ්‍රී ලංකාවේ රජයෙන් මෙන්ම සිවිල් සමාජයෙන්, ව්‍යාපාරික ප්‍රජාවෙන් සහ බුද්ධිමතුන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාවට ආර්ථීක සංවර්ධනය ළඟා කර දිය හැකි වැඩ සටහනක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ අදහස් ඉල්ලා සිටින ලදී.
ඉහත සඳහන් පිරිස් විසින් ලබා දුන් යෝජනා මෙම වැඩසටනේ සංවර්ධනය සහයෝගිතා ප්‍රමුඛතා සකස් කිරීමේදී සැලකිල්ලට ගත්හ. එහෙත් ප්‍රමුඛතම අවශ්‍යතා පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකා රජය විසිනි. රජය මගින් ආරම්භ කොට ඇති වැඩ සටහන් තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමටත් මෙම වැඩසටහන සහය වනු ඇත.
මෙම ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයින් විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී ලංකාවේ නායකත්වයට සහ අනෙක් හවුල්කරුවන්ට වග කියන ආකාරයට ක්‍රියාත්මක වේ.
මෙම සංවර්ධන එකඟතාවයේ වැඩ සටහන් නිර්මාණය කොට ඇත්තේ ප්‍රධාන ආර්ථික ගැටලු දෙකක් විසඳීමේ අරමුණින්ය. ඒවා නම් ගමනාගමනය සහ ඉඩම් කළමනාකරණයයි. ගමනාගමනය යටතේ කොළඹ සහ මහනුවර අතර පවතින නාගරික ජනතාවගේ වාහන තදබදය පිළිබඳ අවධානය යොමු කොට ඇත. මෙම වැඩසටහන නිමා වූ පසු නාගරික ජනතාවට පහසුවෙන් සහ ආරක්ෂාකාරීව තම සේවා ස්ථානවලට ළඟාවීමට හැකිවනු ඇත. එසේම කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට අධිවේගී මාර්ගවලට ඉක්මණින් යා හැකි වනු ඇත. පවතින වාහන තදබදය නිසා සමහර විට පිටකොටුවේ සිට දකුණු අධිවේගී මාර්ගයට යෑමට ගාල්ලට යන කාලය වැයවේ. මෙම ව්‍යාපෘතියෙන් කාර්ය බහුල වේලාවන්හි කොළඹ නගරයේ කිලෝමීටර 205 ක වාහන තදබදය අඩුවේ. නගරය තුළ ගමනාගමනය සඳහා ගතවන කාලය 40% පමණ අඩුවනු ඇත. බස් මාර්ග සහ කාල සටහන් ප්‍රතිසංවිධානය වීමෙන් ජනගහණයෙන් අඩක් පමණ වන පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන විශේෂයෙන්ම දුප්පත් ජනතාවට සහනයක් ලැබෙනු ඇත.
එසේම මේ මගින් පිට පළාත්වල වෙසෙන ග්‍රාමීය ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළෙඳ පොළට ගෙන ඒමේ හැකියාවද වර්ධනය වේ. කොළඹ වට රවුම් මාර්ගයේ ගමන් කාලය 35% කින් අඩුවේ. මේ මගින් වාහන අනතුරු, මරණ සංඛ්‍යාවද අඩු වනු ඇත. තවද කොළඹ වරායට භාණ්ඩ ප්‍රවාහනය කිරීම කඩිනම් වී ලංකාවේ අපනයන හැකියාව දියුණු කෙරේ.
මෙම එකක් ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිම ඉඩමක් ඇමෙරිකානු රජයට හෝ ආයතනයක් වෙත පැවරෙන්නේ නැත. සියලු වැඩ සටහන්වල කළමනාකරණ අයිතිය ශ්‍රී ලංකාව සතුවේ. ශ්‍රී ලංකා රජය මගින් දැනටමත් ආරම්භ කොට ඇති වැඩ සටහන් එනම් දිස්ත්‍රික්ක හතක වර්ග කිලෝ මීටර් 46,000 ආවරණය වන පරිදි සකස් කරනු ලබන විස්තරාත්මක සිතියම්ගත කිරීම වැනි වැඩසටහන් මත ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වනු ඇත. එමගින් පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කයක පුරවැසියන්ට තම ඉඩම් ඔප්පු ඩිජිටල් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලියාපදිංචි කොට සුරක්ෂිතව තබා ගැනීමට හැකිවනු ඇත. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වී ඇති පරිදි නූතන ක්‍රමවේද අනුව ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීමට මේ මගින් හැකිවනු ඇත.
ජනාධිපතිතුමනි, ඔබගේ 40 වසරක දේශපාලන අත්දැකීම් සමග එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන සහ සංවර්ධන ආධාර ගැන මනා දැනුමක් ඇත. ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට සංවර්ධන ව්‍යාපෘතිවලට එක්සත් ජනපදය ඩොලර් බිලියනයක් ඉක්මවා ආධාර දී ඇත. ඒවා සියල්ල ප්‍රදාන වන අතර නැවත ගෙවීමක් අවශ්‍ය නොවේ. ඒ ආකාරයටම MCC වැඩසටහන සඳහා ලබා දෙන ඩොලර් මිලියන 480 ඇමෙරිකානු ජනතාව විසින් ලබාදෙන පූර්ණ පරිත්‍යාගයකි. ණය මුදලක් නොවේ. ශ්‍රී ලංකාවට කිසිම මුදලක් නැවත ගෙවීමට මෙම ගිවිසුමෙන් බැඳීමක් නැත.
මා නැවත අවධාරණය කරනුයේ ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික වර්ධනයට මෙම ආධාර ඉමහත් සේවයක් ඉටු කරන බවය. එයින් ඇතිවන්නා වූ අප දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ඔබ ධුර කාලයේ වැදගත් ස්ථානයක් ගනු ඇත. එබැවින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පැවතෙන දිගු ඉතිහාසයක් ඇති සංවර්ධන සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කිරීමට MCC ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා සහාය වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි.
මේ පිළිබඳව යම් ගැටලුවක් තිබේ නම් එයට පිළිතුරු දීමට කැමැත්තෙන් සිටිමි.
හිතවත් අලෙය්නා බී. ටෙප්ලිට්ස්
තානාපතිනිය
055
COMMENTS
ඉතින් ගරු තානාපතිනියනි, අප දන්නා පරිදි තවමත් ඇමෙරිකාවේ සිටින දුගී මිනිසුන් නොමිලයේ දෙන කැඳ කෝප්පය බිමට ධවල මන්දිරය අසලට දිනපතා රැස්වනු ලැබේ. ඉතින් මේ සැතපුම් දහස් ගණනාවක් දුර ඈත සිටින රටක දුප්පත් මිනිසුන්ට උදව් පදව් කරන වෙලේ අර ඇමෙරිකාවේම සිටින දුගී දුප්පතුන්ට උදව් කරානම් හොඳයි නේද?
ඉඩම් කළමනාකරණය ගැන තව ටිකක් පැහැදිලි කලානම්, ඔවුන්ට අවශ්‍ය ප්‍රදේශවල ඉඩම් අත්පත් කරගැනීම්. SOFA ගිවිසුම ඇමෙරිකන් හමුදාවට රට තුල ඕනෑම දෙයක් කරන්න ඔවුන්ගේ නිල ඇඳුමෙන් ආයුධ අතැතිව යන්න පුළුවන්... ඔවුන්ට බලපාන්නේ ඇමෙරිකන් නීතිය.. එ්කට යන එක ගානද ඔය ගෙවන්නේ...? ලංකාව විකුණන ගාන තමයි ඔය කියන්නේ ආධාරයක් කියලා. දොන් ජුවන් ධර්මපාල කරපු දේම තම තෑගි ඔප්පුවකින් ඇමෙරිකාවට ලියලා දේවි...
ණය සහ දානය අතර වෙනස වඩාත් හොඳින් දැනගත යුතුයි.
බලෙන් දෙන්න හදන්නේ මල්ලි. බලෙන් දෙන්න හදන්නේ... එයාලට අනුකම්පා කරලම එ්ක බාරගන්නලු. අපේ එහාවත්තේ මහත්තයා අපේ තාත්තට ඉඳල හිටලා අඬගහල පොඩි අඩියක් දෙනවා. ඉතින් තාත්තට හෙන හැපී... පස්සේ බලද්දී මහත්තයා දරුවන්ව බලලා එන්න මාසෙකට විතර රට යනවා. මහත්තයා එනකම්ම තාත්තා ගෙයි වත්තයි බලාගෙන ගස්කොලන් වලට වතුර දාලා අතුගාලත් දෙනවා. අර පොඩි අඩියට... පස්සේ මහත්තයා ඇවිත් ගල් බෝතලයක් දෙනවා. ටික දවසක් යද්දී මහත්තයා දැක්කත් හිනාවෙන්නේ නැහැ. ආයි රට යන්න ලංවෙලා ආයි තාත්තට අඩියක් දෙනවා.
ඔය මුදල් නොදී අමුද්‍රව්‍ය හා ශ්‍රමිකයන් ගෙන්වා මහාමාර්ගය හදවලා දෙන්න බලන්න බැරිද? එතකොට මහමාර්ගයත් නියමෙට තිබෙයි මුදල් ගසා කෑමකුත් නැතිවෙයි .
අපට කාගේවත් ආධාර, අනුකම්පාව ඕනෑ නැහැ. අපේ රටට ඇඟිලි ගහන්නේ නැතිව හිටියොත් හොඳටම ඇති...
පුදුම ආදරයක්නේ ඇමෙරිකාව අපිට දක්වන්නේ!. මෙක්සිකෝ මායිමේ, මිනිස්සු දුක්විඳිනවා. ඒ ගැන ටිකක් හොයලා බලන්නකෝ...!
අනේද කියන්නේ...? මේ ගොල්ලෝ අපිට හරිම ආදරෙයි වගේ නේද? කරුණාකර ආපසු හැරී බලන්න ඔබ රටතුළ ඉන්නා දුගී දුප්පත් අය ගැන. ඔබගේ ඇදහීම කුමක්වුවත් ඉස්සෙල්ලාම කලයුත්තේ තම රට තුළ ඇති දුගීභාවය නැති කිරීම නොවේද? ඔබ රටෙහි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව 2016 වසර ඔබ රටෙහි දුගීභාවයේ සිටිනා සංඛ්‍යාව මිලියන 40.6ක් නේද? අද දින වෙනකොට මෙම සංඛ්‍යාවේ වෙනස.... ඇයි මේ අපිට අමුතුම සැලකිලි?
ගරු ජනාධිපතිතුමනි, ඩොලර් මිලියන නොවෙයි, ට්‍රිලියන ගාණක් වුණත් අපිට එපා. ඔබතුමා කීයටවත් මේකට අත්සන් කරන්න නම් එපා. මෙය අපිට අටවපු මරාලයක්... ඇයි මේ අය අපේ සමෘද්ධිය ගැන මේ තරම් මහන්සි වෙන්නේ. ඇමෙරිකාවේ වෙසෙන දුප්පත් මිනිසුන්ට මේ සල්ලිවලින් රක්ෂණ ක්‍රමයක් සාදා ඔවුන්ට නොමිලේ වෛද්‍ය පහසුකම් ගැනීමට අවස්ථාවක් සලසාදෙන්න කියන්න. කොටින්ම කියන්න.. අපේ රටේ මිනිස්සු ඒ අය හිතන තරම් මෝඩ නැහැ කියලා. ඔබ ඔබගේ ජාතිය පාවාදෙන්නෙක් නොවන බවත් කියන්න...
මේක සිංහලෙන් ලියපු හින්දා (මට හිතෙන හැටි) හොඳයි.. නැත්නම් මලාජෝන් තමයි.
අපගේ සෑම ව්‍යාපෘතියකම දුර්වලතා ගණනාවක් දක්නට ඇත. මහවැලි, හම්බන්තොට වරාය ගුවන්තොටුපල මේ හැම එකකටම මෙය පොදුය. ආර්ථික මෙන්ම සමාජයීය, පාරිසරික, සංස්කෘතික අංශ නිසිලෙස ඇගයීමක් නොකිරීම මෙයට හේතුවේ. මෙයින් එක සංරචකයක් හෝ නරක ප්‍රතිඵල දුන්විට මුළු ව්‍යාපෘතියම අනිටු ඵලදායි වේ. රජයේ ඉඩම් ලබාදෙනුයේ දිළිඳු ජනතාවටයි. මොවුන් කිසිවක් කරකියාගත නොහැකිව ඉඩම් විකුණති. හරියාකාර ඔප්පු ලැබේ නම් මේ කාර්ය වඩාත් පහසුවේ. මෙය දරුණු තත්වයකි. මෙය නියාමනය කළයුතු ප්‍රතිකර්ම යෙදිය යුතු තත්වයකි. අන්තිමේදී ගොවීන් නන්නත්තාර වේ. ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් ලබාදීමේ අරමුණ යටපත් නොවෙන සේ කටයුතු කළයුතු අතර මේ සඳහා වැඩපිළිවෙලක්ද ප්‍රතිපාදනද වෙන්කළ යුතුයි.
අපිට මාර ආදරෙයිනේ මේගොල්ලෝ. මී වදේ කඩන්නේ අත ලෙව කන්නලු.
මේ ගිවිසුමේ තියෙන්නේ මේක ණයක් නෙවෙයි ආධාරක කියල හරි, එක පැහැදිලියි. ගමනා ගමනය ගාවගත්තේ කෙලින්ම ඉඩම් පැත්තට බහින්න බැරි නිසාද?. අනික මේකේ සඳහන් කරන්න ම ඕන "ලංකාවට එන ඇමරිකන් පුද්ගලයන් විසා ලබාගත යුතුයි, සහ මෙහි රැඳී සිටින කාලය තුල ඔවුන් ශ්‍රී ලංකික නීති සහ අණ පනත් වලට යටත් විය යුතුයි" මේකේ කියන විදියට ද්විපාර්ශ්වික නම්, අපේ මිනිස්සුන්ටත් ඕන වෙලාවක ඇමෙරිකා යන්න, සහ එහිදී ලංකාවේ නීතියට අනුව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම දෙන්නේ නැනේ අපිට.
අපිනම් ඕකට කියන්නේ වැඩක් කරවගන්න අල්ලස් දෙනවා කියල . ඇමෙරිකාවේ කියන්නේ වෙන එකක් වෙන්න ඇති. අපිට ඉංග්‍රීසි බැහැ නොවැ.
මේක අපිට ඇයි බලෙන්ම දෙන්න හදන්නේ ? මාර ආදරයක්නේ.
යම්කිසි ආධාර වේවා, ණය වේවා ගන්නවා නම් කරන්න ඕනේ ඒ ගැන විද්වත් මඬුල්ලකින් අධ්‍යයනයක් කරලා තීරණ ගන්න එක. එහෙම නැතුව එක එක දේශපාලන න්‍යාය පත්‍ර අනුව ආධාර එපා හෝ හා කියලා වැඩක් නෑ. අර ඇමරිකාව තිරිඟු පිටි මුහුදට දානවා කියලා කාලයක් මොර දුන්නා. ඒ පාර ඒවා නොමිලේ බෙදන්න ගත්තාම ඒවා දීලා තුන්වන ලෝකයේ රටවල දේශීය නිෂ්පාදනය වට්ටනවා කිව්වා. පස්සේ කෘෂි භෝග යොදාගෙන ඉන්ධන නිපදවන්න ගත්තාම ඇයි ඒවා කන්න ගන්නේ නැත්තේ කියලා අහනවා. පාරේ තියෙන්නේ දන්සැලද කඩේද නෙවෙයි... ඒකෙන් කනවාද නැද්ද යන එක තීරණය කරන්න ඕනේ පාරිභෝගිකයා. ඒක එයාට වැටහෙන්නේ නැත්නම් එයා ඒක අහන්න ඕනෑ දැනුමැති පුද්ගලයෙක්ගෙන් මිසක්, අල්ලපු කඩේ කෙනාගෙන්වත් දේශපාලුවාගෙන්වත් නොවේ.
යම් කිසි ආධාර වේවා ණය වේවා ගන්නවා නම් කරන්න ඕනේ ඒ ගැන විද්වත් මඬුල්ලකින් අධ්‍යයනයක් කරලා තීරණ ගන්නා එක. එහෙම නැතුව එක එක දේශපාලන න්‍යාය පත්‍ර අනුව ආධාර එපා හෝ හා කියලා වැඩක් නෑ. අර ඇමරිකාව තිරිඟු පිටි මුහුදට දානවා කියලා කාලයක් මොර දුන්නා. ඒ පාර ඒවා නොමිලේ බෙදන්න ගත්තාම ඒවා දීලා තුන්වන ලෝකයේ රටවල දේශීය නිෂ්පාදනය වට්ටනවා කිව්වා. පස්සේ කෘෂි භෝග යොදාගෙන ඉන්ධන නිපදවන්න ගත්තාම ඇයි ඒවා කන්න ගන්නේ නැත්තේ කියලා අහනවා. පාරේ තියෙන්නේ දන්සැලද කඩේද නෙවෙයි ඒකෙන් කනවාද නැද්ද යන එක තීරණය කරන්න ඕනේ පාරිභෝගිකයා. ඒක එයාට වැටහෙන්නේ නැත්නම් එයා ඒක අහන්න ඕන දැනුමැති පුද්ගලයෙක්ගෙන් මිසක්, අල්ලපු කඩේ කෙනාගෙන්වත් දේශපාලුවාගෙන්වත් නොවේ.
ඔබලා ගිය හැම රටක්ම විනාශ කලා.අපිට ඔය මිලියන ගණනක සල්ලි එපා.අපි අපි ගැන බලාගන්නම්.පාස්කුදා බෝම්බ සිද්ධිය පිටුපස ඉන්න රට කවුද කියලා අපි කව්රුත් දන්නවා දැන් ඇති. කරුණාකරලා අපේ රටෙන් යන්න. එහෙම නැතිනම් මුළු රටම පාරට බැහැලා උද්ඝෝෂණ කරලා ඔබලාව අපේ රටෙන් එලවනවා.
MCC එකෙන් සල්ලි දෙනවා කිව්වට මෙයාලා.. ඊට වඩා අදායමක් වීසා නොදී අපේ මිනිසුන්ගෙන් අය කර ගන්න බව ඔයාලා දන්නවද? 90% කට වඩා වීසා ඇප්ලිකේෂන් රිජෙක්ට් කරනවා. නමුත් රුපියල් 30,000 කට ආසන්න ගානක් කෙනෙකුගෙන් අය කරගෙන ඇමෙරිකාව අපෙන් හම්බ කර ගන්නවා. එම්බසියේ ඉන්න වීසා කාරයා ලංකාවෙන් පිටුවහල් කරලා දාන්න ඕනෑ කරන මේ අසික්කිත වැඩේට.